රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව සහ දිවයින පුරා සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර විශේෂ හමුවක් පසුගියදා එම සංගම් මූලස්ථානයේදී පැවැත්විණි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්තමානයේ පවතින විවිධ සේවා ගැටලු මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීම මෙම හමුවේ මූලික අරමුණ විය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශකයන් ලොව ඉහළම සංවර්ධිත රටවල මට්ටමට සමානව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් ලැබෙන දායකත්වය අතිමහත්ය. දිවයින පුරා විසිරී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින් බෝවන රෝග නිවාරණය, බෝ නොවන රෝග පාලනය, මාතෘ හා ළමා සෞඛ්‍ය රැකවරණය, ප්‍රතිශක්තිකරණ වැඩසටහන්, පාසල් සෞඛ්‍ය සේවාව මෙන්ම ආහාර හා පෝෂණය වැනි අංශ ගණනාවක් ඔස්සේ ඔවුන් මහජන සෞඛ්‍ය සේවාවේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි වෛද්‍ය නියෝජිතයින් විසින් ක්ෂේත්‍රයේ පවතින අර්බුද රැසක් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කරන ලදී. එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ කරුණු අතර වෛද්‍යවරුන්ට ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, යහපත් වෘත්තීය පරිසරයක් නොමැතිකම, රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය පහසුකම් හිඟවීම සහ රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම් නොමැති වීම වැනි ගැටලු ඉස්මතු විය. මීට අමතරව සේවා ස්ථානවල පවතින ආරක්ෂාව පිළිබඳ ගැටලු, සහයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය සහ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව කාලීනව යාවත්කාලීන නොවීම වැනි කරුණු ද මෙහිදී දැඩි ලෙස කතාබහට ලක්විය.
සෞඛ්‍ය සේවාවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන මුවාවෙන් වත්මන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පද්ධතිය දුර්වල කිරීමට යම් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව ද මෙම හමුවේදී සැක සංකා මතු කෙරිණි. කාර්යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීම හිතාමතාම ප්‍රමාද කරමින් බලධාරීන් කටයුතු කිරීම හරහා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව වෛද්‍යවරුන්ගේ අදහස විය.
නිදහස් සෞඛ්‍ය සේවාවට හානි වන අයුරින් කටයුතු කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනට ගෙන යන වෘත්තීය අරගලයට, පවතින දායකත්වයට ඔබ්බට ගොස් වඩාත් ශක්තිමත්ව දායක වීමට මෙහිදී පැමිණ සිටි සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒකමතිකව තීරණය කළහ. මතු වී ඇති මෙම තත්ත්වයන් පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කර වාර්තාවක් ලබා දීමට විශේෂ ක්‍රියාකාරී කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටු වාර්තාව මත පදනම්ව විධායක සභාව විසින් ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිතය. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිශ්චිත කාල රාමුවක් සහිතව මෙම ගැටලු විසඳීම සඳහා විශ්වසනීය හා තිරසාර වැඩපිළිවෙලක් වහාම ප්‍රකාශයට පත් කළ යුතු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු මැදිහත් වීම් සිදු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

