there-is-a-conspiracy-to-remove-the-secretary-general-of-parliament---harshana

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ඉවත් කිරීමෙන් අනතුරුව වත්මන් මහලේකම්වරිය ද එම ධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ (17) පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.




පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා මේ වන විටත් ධූරයෙන් ඉවත් කර ඇති බවත්, මීළඟ පියවර ලෙස මහලේකම්වරිය එළවා දැමීමේ සූදානමක් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය. චමින්ද කුලරත්න මහතා සම්බන්ධයෙන් සිදු කළ මූලික පරීක්ෂණ වාර්තාවේ අවසන් ඡේදය මගින් නිර්දේශ කර ඇත්තේ, පිළිගත් ක්‍රමවේදයට පටහැනිව ඒ මහතා පත් කිරීම සහ එමගින් රජයට පාඩුවක් සිදු කිරීම යන කරුණු මත පාර්ලිමේන්තු මහලේකම් කේ.ඒ. රෝහණදීර මහත්මිය දැනට දරන තනතුරින් තාවකාලිකව ඉවත් කර ඇය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව යැයි මන්ත්‍රීවරයා සභාව හමුවේ සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුව නීතිපතිවරයාට සහ විගණකාධිපතිවරයාට බලපෑම් එල්ල කරමින් සිටින බවත්, ඊට අමතරව දැන් පාර්ලිමේන්තුවට ද අත තබා 'පැලවත්තට' අවැසි ආකාරයට රට මෙහෙයවීමට උත්සාහ දරමින් සිටින බවත් රාජකරුණා මහතා දැඩි ලෙස චෝදනා කළේය. කතානායකවරයා පත්ව සිටින්නේ පැලවත්තට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, ස්වාධීන ආයතනවලට අත තැබීම නතර කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතු බව අවධාරණය කළ අතර රජයේ මෙම මැදිහත්වීම්වලට විපක්ෂයක් ලෙස කිසිසේත් ඉඩ නොදෙන බව ද වැඩිදුරටත් කියා සිටියේය.