විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක කඩයිමක් වන සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීමට නියමිත කණ්ඩායම් අටෙන් හතක්ම මේ වන විටත් තේරී පත්වී හමාරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන 'බී' කාණ්ඩයෙන් මීළඟ වටයට පිවිසෙන කණ්ඩායම් ද්විත්වය තීරණය වූයේ ඊයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟය.
මෙම තරග ප්‍රතිඵලයත් සමඟ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ. යම් හෙයකින් සිම්බාබ්වේ කණ්ඩායම අයර්ලන්තය හමුවේ විශාල ලකුණු පරතරයකින් පරාජය වී, ඔස්ට්‍රේලියාව ඕමානයට එරෙහිව දැවැන්ත ජයක් වාර්තා කළේ නම් අවසන් අට දෙනාගේ වටයට පිවිසීමට ඔස්ට්‍රේලියානුවන්ට යම් අවස්ථාවක් පැවතුණි. එහෙත් සිම්බාබ්වේ - අයර්ලන්ත තරගය විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් එම අවස්ථාව ගිලිහී ගියේය. මූලික වටයේදී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ හමුවේ ලැබූ පරාජයන් ද ඔස්ට්‍රේලියාවේ මෙම ඉවත්වීමට ප්‍රධාන වශයෙන් බලපෑවේය.
මේ වන විට සුපිරි අට වටය සම්බන්ධයෙන් ඉතිරිව ඇති එකම ගැටළුව පවතින්නේ 'ඒ' කාණ්ඩය සම්බන්ධයෙනි. එම කාණ්ඩයෙන් ඉන්දියාව සමඟින් ඉදිරි වටයට පිවිසෙන අනෙක් කණ්ඩායම තීරණය වනු ඇත්තේ අද (පෙබරවාරි 18) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පාකිස්තානය සහ නැමීබියාව අතර තරගයෙනි. මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද පාකිස්තානයට ඊළඟ වටයේ අවස්ථාව හිමිවන අතර, යම් හෙයකින් පාකිස්තානය පරාජය කරමින් නැමීබියාව ජයග්‍රහණය කළහොත් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන තරගාවලියක අවසන් අට දෙනා අතරට එක්වීමට ඇමෙරිකානු එක්සත් ජනපද කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත.
දැනටමත් සුපිරි අට වටය සඳහා සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් දෙස බැලීමේදී 'ඒ' කාණ්ඩයෙන් ඉන්දියාව ද, 'බී' කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ද ඉදිරියට පැමිණ සිටියි. 'සී' කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තයත්, 'ඩී' කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සහ නවසීලන්තයත් ඊළඟ වටයට සුදුසුකම් ලබා ඇත. සුපිරි අට වටයේ තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ 'X' සහ 'Y' වශයෙන් කාණ්ඩ දෙකකට කණ්ඩායම් බෙදා වෙන් කර ලීග් ක්‍රමයටය.