regulation-of-three-wheelers-taxis-school-vans-and-office-vans-within-the-next-two-months

ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ විනය ස්ථාපිත කිරීමේ අරමුණින් ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ ලැබී ඇති බලතල ප්‍රකාරව විශේෂ නියාමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය.




මෙහිදී ප්‍රධාන වශයෙන් ත්‍රිරෝද රථ, කුලී රථ (ටැක්සි), පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සහ කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන වෑන් රථ යන කාණ්ඩ හතර කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇත. දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙම අංශ හරියාකාරව නියාමනය නොවීම හේතුවෙන් එම කර්මාන්තයේ නියුතු පාර්ශවයන්ට මෙන්ම සේවාව ලබා ගන්නා දෙමාපියන් ඇතුළු මහජනතාවට ද විශාල ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබේ.

වර්තමානයේ ත්‍රිරෝද රථ රියදුරන් පාලනය කිරීම බොහෝ දුරට පොලිසිය මගින් හෝ ඇතැම් පළාත් සභා මගින් සිදු කරනු ලැබුවද, එය විධිමත් ඒකාබද්ධ නියාමනයක් ලෙස ක්‍රියාත්මක නොවේ. මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ඉහත සඳහන් කළ ප්‍රවාහන කාණ්ඩ හතරටම අදාළ නව රෙගුලාසි සකස් කිරීමේ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන්ව ඇත. ඉදිරි මාස දෙකක කාලය තුළ අදාළ වෘත්තීය කණ්ඩායම් සහ සංගම් සමඟ අවසන් වටයේ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම නියාමනයන් බලාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.




එමෙන්ම මගී ප්‍රවාහන සේවාවන්හි නිරත රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීම සඳහා විශේෂ ජංගම පරීක්ෂණාගාර බස් රථ යොදා ගනිමින් පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර තිබේ. මෙම ජංගම පරීක්ෂණාගාර මගින් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, වර්තමානය වන විට මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූවන් නියුතු රැකියා අතරින් ප්‍රධාන තැනකට රියදුරු වෘත්තිය පත්ව ඇති බවයි.

මෙම අනතුරුදායක තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (College of Surgeons) සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් සිටී. මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කර රිය පැදවීමේදී රියදුරෙකුට නිවැරදි තීරණයක් ගැනීමට හෝ ක්ෂණිකව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව අඩපණ වන බවත්, එය බරපතල අනතුරු වලට හේතු වන බවත් විශේෂඥ වෛද්‍යවරුන් විසින් පෙන්වා දී ඇත.