ඌරගස්මංහන්දිය, දැල්කඩ ප්‍රදේශයේදී පියෙකු විසින් එල්ල කරන ලද කුරුඳු කපන කැති පහරකින් දහහතර හැවිරිදි සිය දියණිය ඝාතනය වීමේ ශෝචනීය පුවතක් වාර්තා වේ. පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේ පාසලක නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දුල්මි සමායා සත්සරනී නමැති සිසුවියකි.
නිදන කාමරය තුළ කොට්ටයක් යට සඟවාගෙන ජංගම දුරකතනයක් භාවිතා කරමින් සිටියදී එය දුටු පියා ඇති කරගත් දැඩි කෝපය මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එදින රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව නිදාගැනීමට යන බව පවසා කාමරයට ගිය දියණිය පරීක්ෂා කිරීමට පියා ගිය අවස්ථාවේදී, ඇය රහසිගතව දුරකතනයක් භාවිතා කරනු දැක ඇති අතර, ඉන් කුපිත වූ ඔහු නිවසේ තිබූ කුරුඳු කැත්තෙන් ඇයට පහර දී ඇත.
බරපතළ තුවාල ලැබූ සිසුවිය අසල්වැසියන්ගේ සහය ඇතිව ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හතළිස් එක් හැවිරිදි එච්.එච්. ඉඳුනිල් පුෂ්පකුමාර නමැති පියා, ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පෙබරවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ සැකකරුගේ මව වන හේවා හකුරු කුසුමා චන්ද්‍රාණි මහත්මිය පවසා සිටියේ, තම පුතා දියණියට අසීමිත ලෙස ආදරය කළ පියෙකු වූ බවයි. ඇයගේ මව විදේශගතව ඔවුන් අතහැර ගොස් සිටියද, දියණියගේ අනාගතය වෙනුවෙන් සැකකාර පියා වෙනත් විවාහයක් පවා කර නොගෙන සිටි බවත්, එදිනෙදා උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් දියණියට අවශ්‍ය රසකැවිලි සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් ඔහු වියදම් කළ බවත් ඇය සඳහන් කළාය.
මීට පෙර අවස්ථාවකදීද දියණිය රහසින් දුරකතනයක් භාවිතා කරනු දැක එය තහනම් කර තිබියදී, නැවත වරක් වෙනත් පුද්ගලයෙකුගෙන් ලැබුණු දුරකතනයක් භාවිතා කිරීම නිසා ඇතිවූ ක්ෂණික කෝපය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අපරාධය සිදුවන්නට ඇති බව මිත්තණිය වැඩිදුරටත් පැවසුවාය. සිසුවියට එම දුරකතනය ලබාදුන් පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව ඌරගස්මංහන්දිය පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.