transfers-to-12-police-chiefs

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දොළොස් දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.




මෙම නව ස්ථාන මාරුවීම්වලට අනුව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා බඳවා ගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යවා ඇති අතර, ඊට සමගාමීව එම දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට පියවර ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ ස්ථාන මාරුවීම් යටතේ ගම්පොළ කොට්ඨාසයේ සිටි එරික් පෙරේරා මහතා කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරියා ලෙසත්, කොළඹ උතුර කොට්ඨාසයේ සිටි බී.ඒ.ආර්. පුෂ්පකුමාර මහතා කටුනායක විශේෂිත ගුවන්තොටුපොළ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත් පත් කර ඇත. තවද මොනරාගල කොට්ඨාසයේ සිටි කේ.එන්. ගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානය වෙතත්, පොලිස් මූලස්ථානයේ රාජකාරි කළ ඩබ්ලිව්.එම්.එස්.බී. වික්‍රමසිංහ මහතා මොනරාගල කොට්ඨාස භාර නිලධාරියා ලෙසත් මාරු කර යවා ඇති අතර, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කේ.ඒ. උදය කුමාර මහතාට කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මීට අමතරව පොලිස් අධිකාරී සී.ඩී. ඉලංගකෝන් මහතා මහනුවර කොට්ඨාසයේ සිට ගම්පොළ කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත් කර ඇත.




සහකාර පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ද මෙම ස්ථාන මාරුවීම් බලපැවැත්වෙන අතර, ඒ අනුව ගම්පොළ සිටි එච්.එම්.ඩී. හේරත් මහතා ඇල්පිටිය කොට්ඨාසයටත්, ඇල්පිටිය කොට්ඨාසයේ සිටි දීප්ති කුමාර මහතා මඩකලපුව කොට්ඨාසයටත් මාරු කර යවා තිබේ. එසේම මඩකලපුව කොට්ඨාසයේ සිටි ඒ.එල්.එම්. ජමිල් මහතා විශේෂ ආරක්ෂක කොට්ඨාසයටත්, කන්කසන්තුරය කොට්ඨාසයේ සිටි එම්.කේ.එස්. උදය කුමාර මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙතත් අනුයුක්ත කර ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.