පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ගෙවනු ලබන වැටුප් හා දීමනා පිළිබඳ තොරතුරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම විස්තර ඉදිරිපත් කළාය.
අග්‍රාමාත්‍යවරිය විසින් සපයන ලද දත්ත අනුව, එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මාසිකව ලැබෙන මූලික වැටුප හා දීමනා විස්තර පහත දැක්වේ:
* මාසික මූලික වැටුප: රුපියල් 54,285 කි. * සංග්‍රහ දීමනාව: රුපියල් 1,000 කි. * ප්‍රවාහන දීමනාව: රුපියල් 15,000 කි. * දුරකථන දීමනාව: රුපියල් 50,000 කි. * කාර්යාල දීමනාව: රුපියල් 100,000 කි.
මේ අතර, මන්ත්‍රීවරුන්ට රුපියල් 3,500ක රියදුරු දීමනාවක් ද හිමි වේ. කෙසේ නමුත්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් රියදුරෙකු ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් සඳහා මෙම දීමනාව නොගෙවන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
ඉන්ධන දීමනාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, එය එක් එක් මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර ප්‍රමාණය මත පදනම්ව ගණනය වන බවයි. විශේෂයෙන්ම, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් සඳහා, සෑම මසකම පළමු වන දිනට පවතින වෙළෙඳපොළ මිල අනුව මෙම දීමනාව ගෙවීම සිදු කරන බව ඇය පැවසුවාය.
පාර්ලිමේන්තු කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය වෙනුවෙන් ගෙවනු ලබන දෛනික දීමනා පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය විසින් කරුණු දැක්වීය. මේවා පහත පරිදි සටහන් වේ:
* පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීත්වය – රුපියල් 2,500 (දිනකට) * කාරක සභා රැස්වීම් සඳහා සහභාගීත්වය (පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල) – රුපියල් 2,500 (දිනකට) * කාරක සභා රැස්වීම් සඳහා සහභාගීත්වය (පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල) – රුපියල් 2,500 (දිනකට)