the-former-police-chief-regrets-the-arrest-of-natasha

ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති (ICCPR) පනත භාවිත කරමින් ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය මහත්මිය අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (19) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය බලවත් කනගාටුව ප්‍රකාශ කර තිබේ. ඇය විසින් බුදුදහමට නිගා වන අයුරින් ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.




හිටපු ස්ථානාධිපතිවරයාගේ මෙම කනගාටුව පළ කිරීම සනාථ කෙරෙන නිල ලිපියක් ද රජයේ නීතිඥවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල වෙත නිල වශයෙන් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.

එමෙන්ම, අදාළ පනත යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී ඉදිරියේදී සිදුවිය හැකි නීතිවිරෝධී සහ අත්තනෝමතික ක්‍රියාකාරකම් වළක්වාලීම අරමුණු කරගනිමින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බව ද රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.




මෙම කරුණු දැක්වීම් සහ එකඟතාවන් සලකා බැලීමෙන් අනතුරුව, අදාළ සිද්ධියට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාග කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලදී.