
වස්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටියදී හදිසියේම දියවැලකට ගොදුරු වී ගසාගෙන ගිය ඩෙන්මාර්ක් ජාතික කුඩා පිරිමි දරුවෙකු බේරාගැනීමට කළුතර උතුර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වී තිබේ. මෙලෙස ඔවුන්ගේ කඩිනම් ක්‍රියාකාරිත්වය හේතුවෙන් දිවි ගලවාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා සිය මව්පියන් සමග පැමිණ සිටි මෝර්ටෙන්සන් ආතූර් නමැති දොළොස් හැවිරිදි දරුවෙකි.
මෙම විදේශික සංචාරක පවුල වස්කඩුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගෙන සිට ඇත. ඉකුත් 16 වැනිදා දහවල් කාලයේදී සිය පියා සහ සහෝදරයා සමග විනෝද වීම සඳහා මුහුදට ගිය අවස්ථාවේදී ඔවුන් මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දී තිබේ. එහිදී දරුවන් දෙදෙනාම එක්වරම බලවත් රළ පහරකට හසු වී දියඹට ගසාගෙන ගොස් ඇති අතර, ඉන් එක් දරුවෙකු රැල්ලත් සමග නැවතත් වෙරළ දෙසට ගසාගෙන විත් ඇත.
එහෙත් අනෙක් දරුවා වෙරළේ සිට මීටර් 300ක පමණ දුරකට වේගයෙන් මුහුදට ඇදී ගොස් තිබේ. එම අවදානම් සහගත තත්ත්වය නිරීක්ෂණය කළ වහාම ක්‍රියාත්මක වූ කොස්තාපල්වරුන් වන මධුසංඛ, චතුරංග සහ කුමාරසිංහ යන ජීවිත ආරක්ෂක නිලධාරීන් තිදෙනා වහා මුහුදට පැන දැඩි පරිශ්‍රමයක් යොදා එම දරුවාගේ ජීවිතය නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කර ඇත.