ranils-wife-maithris-uk-graduation-trip-was-informed-by-secretary-saman

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරිඳට පිරිනැමූ ගෞරව පදවියක් ලබාගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ වුල්වරිහැම්ටන් විශ්වවිද්‍යාලය වෙත සිදුකළ සංචාරය පෞද්ගලික ගමනක් බව දැන දැනම, එය වසන් කිරීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා කටයුතු කර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.




හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 සැප්තැම්බර් 22 හා 23 දිනවල ලන්ඩනයේ පෞද්ගලික සංචාරයක නියැළී රජයට රුපියල් ලක්ෂ 162 පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධ පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එසේ කීය.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහැර ඇති අතර දෙවැනි සැකකරු ලෙස සමන් ඒකනායක මහතා නම් කර ඇත.


පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටී සමන් ඒකනායක මහතා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක සෝලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ ඇතැම් දේශපාලනඥයන් හා නීතිඥයන් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් පිටත දී විවිධ ප්‍රකාශ කරමින් සාක්ෂිකරුවන්ට බලපෑම් වන ආකාරයේ කටයුතු කරන බවය.





දිලීප පීරිස් මහතා මෙසේද කීය. 


මෙම සිද්ධියේ වැඩිදුර කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පසුගිය නඩු වාරයේදී අධිකරණය ඉදිරියේ සිදු වූ සම්බන්ධයෙන් සිද්ධීන් අධිකරණයේ අවධානය යොමු කළ යුතුයි. පසුගිය නඩු වාරයේදී ඇතැම් පුද්ගලයන් අධිකරණය ඉදිරියේ විවිධ පුවරු ප්‍රදර්ශනය කරමින් විවිධ ප්‍රකාශ මාධ්‍යයට කරමින් විවිධ ප්‍රකාශ මාධ්‍යයට නිකුත් කළා.මෙහෙම මාධ්‍යයට ප්‍රකාශ කරන ඇතැම් නීතිඥවරුන් මේ අධිකරණය තුළ කිසිදු දෙයක් කියන්නේ නැහැ. අපි අධිකරණයට කියන කරුණුවලට ඔවුන් එළියේදී උත්තර දෙනවා. මෙය නීතිපති දෙපාර්තමේන්තුවට හා පැමිණිල්ලට කරන බලපෑමක්, බිය වැද්දීමක්.



සුදු කරපටි අපරාධකාරයන් කරන මෙම පූර්වාදර්ශය හෙට අනිද්දා පාතාල සාමාජිකයෝත් කරන්න බැරි නෑ. ඒක නිසා මෙය කරන්නට ඉඩ යුතුයි. ඊට ප්‍රතිචාර මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ කිසියම් පුද්ගලයකු විසින් මත පළකිරීම සම්බන්ධයෙන් අධිකරණයකට සීමා පැනවිය නොහැකි බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15/7 අනුව්‍යවස්ථාව අනුව යම් වරදක් අනාවරණය වන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක විය හැකි බවද දුන්නේය.


විමර්ශන කටයුතුවලට බාධා නොකර වැඩකටයුතු කිරීමට සැකකරුවන්ගේ නීතිඥයන් වග බලා ගත යුතු බවද අවධාරණය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු   දැක්වූ දිලීප පීරිස් මහතා මෙසේද පැවසීය.සැකකරු රාජ්‍ය දූෂිත නිලධාරියෙක් කියලා කියන්න බැහැ. ඒත් ඔහු හැසිරෙන්නේ පළපුරුදු අපරාධකාරයෙක් ලෙසයි. ඔහුගේ ප්‍රකාශය අනුව හිටපු ජනාධිපතිවරයාගේ ලන්ඩන් ගමන මග නැවතුමක් පමණයි. නමුත් සැකකරු පමණයි. නමුත් සැකකරු ගමන සම්බන්ධයෙන් යොමු කළ ලිපියකට තැබූ සටහනක් සම්බන්ධව රජයේ අත්අකුරු පරීක්ෂකවරයාගේ වාර්තාවක් කැඳවා විමර්ශනය කිරීමට අධිකරණයේ අවසරය ඉල්ලා සිටිනවා.


ඊට ප්‍රතිචාර දැක්වූ  මහේස්ත්‍රාත්වරයා අදාළ වාර්තාව රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර අදාළ සංදේශය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය. සැකකරු වෙනුවෙන් නීතිඥ කාලිංග  ඉන්ද්‍රතිස්ස  මහතා කරුණු දක්වමින් ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය.  




 

සැකකරු වසර 39ක් නිකැළැල් රාජ්‍ය සේවයක් හිමි පුද්ගලයකු බවත් ඔහුට ජනාධිපතිවරයකුගේ නිල ගමනකට බලපෑම් කිරීමට නොහැකි බවත් පෙන්වා දුන්නේය.මෙම සංචාරය බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සරෝජා සිරිසේන තානාපතිවරිය විසින් යොමු කර ඇති බවත්, ඊට් අදාළ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සිදු කර ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය. හිටපු ජනපතිගේ විදෙස් ගමන් සම්බන්ධයෙන් අයවැය තීරණය කරන ලද්දේ මහ කොමසාරිස් කාර්යාලයෙන් බවද පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව තීරණ ගැනීමක් කළ නොහැකි අකලංක නිකැළැල් චරිතයක් ඇති තම සේවාදායකයා ඇප 

මත මුදාහරින ලෙසද ඉල්ලා සිටියේය.


රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා කරුණු දක්වමින් සැකකරුට ඇප දෙනවාට සම්පූර්ණයෙන් විරුද්ධ බව සඳහන් කළේය. සැකකාර ලේකම්වරයා ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා බවත් මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඔහු සතු බවත් පැවැසීය. දිලීප ජීර්ස් මහතා මෙසේද කීය.


ලන්ඩනය හා ඔය කියන විශ්ව විද්‍යාලය අතර කිලෝ මීටර් දෙසීයක් විතර දුර තියෙනවා. එහෙම තියෙද්දි සැකකරු කියන්නෙ කොහොමද මේක හුවමාරුවක් පමණයි කියලා. ඔහුට මෙම සංචාරය පිළිබඳව සම්පූර්ණ දැනුම තිබෙනවා. මහජන මුදල් කාබාසිනියා කළ හොර ගමනකට නිල මුද්‍රාව නියන්නේ මෙම සැකකරු. රජයේ මුදල් අයුතු ප්‍රයෝජන අරගෙන සංචාරවල නිරත වූවේ නම් හිටපු ජනපති බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහට හා සැන්ඩා පෙරේරා යන අයට එරෙහිවත් විමර්ශන කරන්න උපදෙස් දීලා තිබෙනවා.


දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයේ සිටින පුද්ගලයකු මාධ්‍යයට අදහස් ඉදිරිපත් කිරිමේදී ඔහුගේ අයිතිවාසිකම් සීමාවන බැවින් එසේ නොකරන ලෙසට සැකකරුට නියෝග කළේය. සාමාන්‍ය නඩුවකදී ඇප දීමට විශේෂ හේතු අවශ්‍ය නොවූවත් පොදු දේපළ පනත යටතේ වන මෙම විමර්ශනය යටතේ වන මෙම විමර්ශනය සම්බන්ධයෙන් ඇප දීමේදී විශේෂ හේතු සලකා බැලිය යුතු. බැවින් දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බලා ඇප දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 18 වැනි දින ඉදිරිපත් කරන බව මහේත්‍රාත්වරයා නියෝග කළේය.සැකකරු එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටද නියෝග කෙරිණි.