a-slave-girl-is-employed-as-a-prostitute-in-a-spa

සම්බාහන මධ්‍යස්ථානයක (ස්පා) දහසය හැවිරිදි දැරියක ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන එම සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකාරිය රාගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවයේ යොදවා සිටි දහසය හැවිරිදි බාල වයස්කාර දැරිය මුදාගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකාරිය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පෙරේදා (9) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කෙරිණි. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.




පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව රාගම පොලිසියේ සැරයන් ජයතිස්ස (52089) මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් රාගම ප්‍රදේශයේ පිහිටි එම සම්බාහන මධ්‍යස්ථානයට ගොස් විමර්ශන පවත්වා දැරිය මුදාගෙන, එහි කළමනාකාරිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සම්බාහන මධ්‍යස්ථානයේ අයිතිකරු අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

බාල වයස්කාර දැරිය මීට ඉහතදී ඇයගේ පෙම්වතා බව කියන තරුණයා අතින් අපයෝජනයකට ලක්වී ඇතැයි කියන අතර, එම තරුණයා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේ යැයි කියමින් පොලිස් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි ද පොලිසිය කියයි.




පෙම්වතා බව කියන තරුණයා රිමාන්ඩ් භාරයට පත් වීමෙන් පසු ඔහුගේ මිතුරකු බව කියන තරුණයකු ඇය මෙම සම්බාහන මධ්‍යස්ථානයට ගෙනැවිත් භාර දී ඇති බව කියති.දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළි විණි යයි ද පොලිසිය පැවැසීය.බාල වයස්කාර දැරිය සම්බාහන මධ්‍යස්ථානයට ගෙන ගොස් භාර දුන් බව කියන තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. අත්අඩංගුවට ගැනීමට සොයන මෙම තරුණයා දැරිය සම්බාහන මධ්‍යස්ථානයට දී මුදල් ලබාගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.