special-coop-investigation-into-coal-imports

පසුගිය වසර පහක කාලසීමාව තුළ මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය හා සබැඳි සියලු කටයුතු පිළිබඳව විශේෂ විමර්ශනයක් පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව තීරණය කර තිබේ. මෙම පුළුල් විමර්ශනය සිදු කිරීම සඳහා අදාළ කාලවකවානුවට අයත් විගණන වාර්තා මූලික කරගනු ලබන බව කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය.




මෙම විමර්ශනයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ අදාළ වසර පහ තුළ ගල් අඟුරු ආනයනය කිරීමේදී නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර තිබේද සහ එම කටයුතු පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදු කර තිබේද යන්න පිළිබඳවයි. ඊට අමතරව එම ගනුදෙනු සඳහා සම්බන්ධ වී ඇති බාහිර හා අභ්‍යන්තර පාර්ශ්ව කවුරුන්ද යන්න පිළිබඳවද පූර්ණ සොයා බැලීමක් සිදු කිරීමට නියමිත අතර, මේ සඳහා ගල් අඟුරු ආනයනයට අදාළ රාජ්‍ය ආයතනවල වර්තමාන මෙන්ම හිටපු නිලධාරීන්ද කෝප් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.

ලක්විජය බලාගාරය සඳහා මෑතකදී ගෙන්වන ලද ගල් අඟුරු නැව් දෙකක් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වෙතින් දැඩි චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණවලදී අදාළ ගල් අඟුරු සාම්පල බාල තත්වයේ පවතින බවට තොරතුරු අනාවරණය විය. මෙම ආන්දෝලනාත්මක සිදුවීම පදනම් කර ගනිමින් වහා ක්‍රියාත්මක වූ රජය, අදාළ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොගය ලබා දුන් සැපයුම්කරුවන් වෙත දඩ මුදල් නියම කිරීමට පසුගියදා තීරණය කරනු ලැබීය.