money-smugglers-are-caught-in-kandy-claiming-to-be-sent-to-australia

ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් නීතිවිරෝධී ලෙස මුදල් වංචා කළ තරුණයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට අයත් පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් මහනුවර ප්‍රදේශයේදී ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් වීසා උපදේශන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.




මෙම අත්අඩංගුවට ගැනීමට මූලික වී ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කාර්යාංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලකි. අදාළ තරුණයින් විසින් පවත්වාගෙන ගිය 'EGA Visa Consultancy' නැමැති ආයතනය හරහා ඕස්ට්‍රේලියාවේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදීම හේතුවෙන් මෙම පැමිණිල්ල සිදුකර තිබේ. ඒ අනුව ඊයේ දින අදාළ ආයතනය වැටලීමට කාර්යාංශ විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇත.

එම වැටලීමේදී තහවුරු වී ඇත්තේ මෙම ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු වලංගු බලපත්‍රයක් ලබා නොගෙන, වීසා උපදේශන ආයතනයක් මුවාවෙන් නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි. අත්අඩංගුවට පත් සැකකරුවන් ගම්පොළ සහ තලාතුඔය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23ක් වන තරුණයින් දෙදෙනෙකි. වැටලීම සිදුකළ ස්ථානයේ තිබී විදේශ රැකියා ගිවිසුම් 7ක්, විදේශ ගමන් බලපත්‍ර 5ක් මෙන්ම මුදල් ලබාගත් බවට සාක්ෂි සපයන කුවිතාන්සි පොත් ද විමර්ශන නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.




අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් දෙදෙනා අද (13) දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම වැටලීම ක්‍රියාත්මක විය. ඒ සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී. ආරියසිංහ, පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස්, පොලිස් සැරයන් මාරසිංහ යන නිලධාරීන් සමග කාර්යාංශයේ මහනුවර පළාත් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ද සහභාගී වී ඇත.

money-smugglers-are-caught-in-kandy-claiming-to-be-sent-to-australia

money-smugglers-are-caught-in-kandy-claiming-to-be-sent-to-australia