අද (13) පස්වරු 5.00ට පමණ තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි කීල්ස් සුපිරි වෙළෙඳසැලක රථ ගාලක් තුළදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි.
පොලිස් වාර්තා වලට අනුව, අදාළ යුවළ සිය මෝටර් රථය තුළ රැඳී සිටින අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත. වෙනත් මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 (T56) වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන අතර, වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා එම ස්ථානයේදීම මෝටර් රථය තුළම මියගොස් ඇත. ප්‍රහාරය එල්ල කළ වහාම සැකකරුවන් එම ස්ථානයෙන් පලාගොස් තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයින්ගේ අනන්‍යතාව හෝ මෙම ඝාතනය කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය මූලික විමර්ශන කටයුතු සිදුකරන අතර, පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ අපරාධයට හේතුව සෙවීම සඳහා මේ වන විටත් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.