ඇප ලැබුණ බලංගොඩ කස්සප හිමි ඊයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වී තමන් සිරගතව සිටින වකවානුවේ යටත්වෙන්න කියා ටිල්වින් සිල්වා පණිවිඩයක් එවූ බව සඳහන් කර තිබුණ අතර එම ප්‍රකාශය සත්‍යයක්දැයි අද මාධ්‍යවේදීන් ඇමති සුනිල් වටගලගෙන් විමසීමක් කර තිබුණි. ඔහු දුන් පිළිතුර මෙසේය.
"මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි" කියන ගාථා පාඨය පවා අපට උගන්වන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසිනුයි.
ඉතින් මේක අමූලික බොරුවක් බව ගෞරවනීය කස්සප හාමුදුරුවෝ හොඳටම දන්නවා. උන්වහන්සේගේ හෘද සාක්ෂිය එය දන්නවා.
ඒ වගේම මගේ හෘද සාක්ෂියත් එය දන්නවා. මම කවදාවත් උන්වහන්සේ හමුවී නැහැ. උන්වහන්සේව මුණගැසී නැහැ. සම්බන්ධීකාරකවරයෙකු හරහාවත් කතා කරලා නැහැ.
ඒ නිසා මෙය සම්පූර්ණයෙන්ම අමූලික අසත්‍යයක් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. උන්වහන්සේ මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරලා බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියා මම දන්නේ නැහැ.
මට මතක් වුණේ එක්තරා වෙලාවක ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක්. අනුරාධපුරයත් පසුකරගෙන සමහර උදවිය යාපනයට සිල් ගන්න යනවා කියලා එතුමා කිව්වා. අන්න ඒ වගේ, මේ දේවල් පිටුපසත් යම්කිසි අරමුණක් තිබෙනවා.
ඒක යටි අරමුණක්. ඒ නිසා අපි උන්වහන්සේට කියනවා මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඒ යටි අරමුණ කවදාවත් ඉෂ්ට කරගන්න බැහැ කියලා. මොකද, මම කවදාවත් මෙවැනි ආකාරයේ වැඩකට සම්බන්ධ වෙලා නැති බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා.
දැන් ජනාධිපති ලේකම් කාර්යාලයටත් එන්න කිව්වා නේද?
"නැහැ ඒක තමයි, ලේකම් කාර්යාලයට එන්න කියන්න ඕනේ මමනේ. උන්වහන්සේ කියන විදිහට මමවත් කවදාවත් උන්වහන්සේත් එක්ක දුරකථන ඇමතුමකින්වත් කතා කරලා නැහැ. වෙනත් කෙනෙකුගේ මාර්ගයකින්වත් මම කවදාවත් උන්වහන්සේට එහෙම ආමන්ත්‍රණය කරලත් නැහැ. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි උන්වහන්සේ ඊයේ මෙවැනි ප්‍රකාශයක් නිකුත් කළේ. එය මටත් ඇහුණා.
දැන් හැබැයි උන්වහන්සේ චෝදනා කළා නේද? ඔබතුමා මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නවද? ඇත්තටම මොකද වෙන්නේ?
ඉතින් මම දැන් කියනවා මේ ප්‍රකාශය අසත්‍යයක් කියලා. ඊට ප්‍රතිචාරයක් ලෙස, දින වකවානු සහිතව 'මෙන්න අහවල් කාලවල තමයි මෙහෙම ප්‍රකාශයක් කළේ' කියලා සඳහන් කරන්න උන්වහන්සේට පුළුවන්. නමුත් උන්වහන්සේගේ හෘද සාක්ෂිය වගේම මගේ හෘද සාක්ෂියත් දන්නවා, අපි දෙන්නම හොඳටම දන්නවා,
කවදාවත් එහෙම සංවාදයක් නොවුණු බව."