madhal-fishermen-settle-near-the-presidential-secretariat

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අභියස මාදැල් ධීවර ප්‍රජාව විසින් ආරම්භ කර ඇති විරෝධතා සත්‍යග්‍රහය ඊයේ (10) වන විට හය වැනි දිනටත් ක්‍රියාත්මක විය. ට්‍රැක්ටර් යන්ත්‍රවලට සවි කරන ලද වින්ච් යන්ත්‍ර උපයෝගී කරගනිමින් සිදු කරන මාදැල් කර්මාන්තයට වත්මන් රජය විසින් පනවා ඇති තහනම ඉවත් කරන ලෙස බල කරමින් මෙම විරෝධතාව දියත් කර තිබේ.

මෙම සත්‍යග්‍රහය සඳහා හුදෙක් ධීවරයන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, දරුවන් මෙන්ම සහාය පළ කරන වෙනත් පාර්ශ්වයන් ද එක්ව සිටින අයුරු ඊයේ දිනයේදීත් දැකගත හැකි විය.




බලධාරීන්ගෙන් තම ගැටලුවට මෙතෙක් සාධාරණ විසඳුමක් හෝ නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ධීවර නියෝජිතයෝ අවධාරණය කර සිටිති. රජය තවදුරටත් මෙම අර්බුදය මගහරිමින් කටයුතු කරන්නේ නම්, ඉතා ඉක්මනින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ධීවර පවුල් ඒකාබද්ධ කරගනිමින් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කරන බවට ද ඔවුහු අනතුරු ඇඟවූහ. පසුගිය දින කිහිපය පුරාම විවිධ දේශපාලනඥයන් ඇතුළු පිරිස් මෙම ස්ථානයට පැමිණ සත්‍යග්‍රහයේ නිරත ධීවරයන් දිරිගන්වමින් සහාය පළ කළහ.

කෙසේ වෙතත්, අදාළ යාන්ත්‍රික ක්‍රමවේදය මගින් කොරල්පර සහ සමුද්‍රීය පරිසර පද්ධතියට දැඩි හානි සිදුවන බව පවසමින් බලධාරීන් මෙම ධීවර ක්‍රමවේදය තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ, මාදැල් ධීවරයන් විසින් ගොනු කර ඇති නඩුවක් මෙම මස 27 වැනිදා කැඳවීමට නියමිතව ඇති බවයි. එබැවින් ඊට පෙර සාකච්ඡාවක් ලබා දීමේ හැකියාවක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

madhal-fishermen-settle-near-the-presidential-secretariat

madhal-fishermen-settle-near-the-presidential-secretariat

madhal-fishermen-settle-near-the-presidential-secretariat

madhal-fishermen-settle-near-the-presidential-secretariat