a-sword-in-the-van-driven-by-the-17-year-old-jaffna-student-who-was-shot-and-killed-by-disobeying-orders

යාපනය කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ අල්ලපිඩ්ඩි ප්‍රදේශයේදී ඊයේ (10) අලුයම පොලිස් අණ නොතකා ධාවනය කළ සැකකටයුතු වෑන් රථයකට පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.




අල්ලපිඩ්ඩි මංසන්ධිය ආසන්නයේදී අලුයම 1.15ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, සැකකටයුතු 'හයි ඒස්' වර්ගයේ වෑන් රථයකට පොලිසිය නැවැත්වීමට සංඥා කළද රියදුරු එම අණ නොතකා වාහනය මණ්ඩතිව් දෙසට වේගයෙන් ධාවනය කර ඇත.

එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන්, මණ්ඩතිව් මාර්ග බාධකයේ පරීක්ෂා කිරීම් සඳහා ගොස් නැවත අල්ලපිඩ්ඩි දෙසට පැමිණෙමින් සිටි කයිට්ස් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ජීප් රථයට මේ බව දැනුම් දී ඇති අතර, එම ජීප් රථය මාර්ගය හරස් කර පළායන වෑන් රථය නැවැත්වීමට උත්සාහ දරා තිබේ.




කෙසේ වෙතත් වෑන් රථය පොලිස් ජීප් රථය මගහැර පළායාමටත්, රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් යට කර ධාවනය කිරීමටත් උත්සාහ කළ අවස්ථාවේදී ආත්මාරක්ෂාව සහ රථය නැවැත්වීම වෙනුවෙන් පොලිසිය මුලින් අහසට වෙඩි තබා ඇති අතර, රථය තවදුරටත් නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

වෙඩි ප්‍රහාරයෙන් වෑන් රථය පදවාගෙන පැමිණි වඩුක්කොඩෙයි, සිත්තන්කේනි ප්‍රදේශයේ පදිංචි ඇල්බිනෝ අරුල් පයාස් නමැති 17 හැවිරිදි තරුණයාගේ නළලට වෙඩි උණ්ඩය වැදී මොළය අභ්‍යන්තරයට ගමන් කිරීම හේතුවෙන් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.



සිද්ධිය වූ ස්ථානයට කයිට්ස් මහේස්ත්‍රාත් නලිනි සුබාස්කරන් මහත්මිය පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර, මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. මයුරදන් මහතා විසින් සිදුකරන ලදී.

පොලිසිය විසින් රථය පරීක්ෂා කිරීමේදී එහි පිටුපස ආසන ගලවා ඉවත් කර තිබූ බවත්, රථය තුළ තිබී කඩුවක්, ගොම, ලණු සහ ගංජා ස්වල්පයක් සොයාගැනීමට හැකිවී ඇති බවත් වාර්තා වන අතර, ප්‍රදේශයේ ගවයින් සොරකම් කිරීම සඳහා මෙම පිරිස පැමිණ ඇති බවට පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය වන අවස්ථාවේ වෑන් රථයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති අතර, වඩුක්කොඩෙයි සහ නල්ලූර් ප්‍රදේශවල පදිංචි එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඌර්කාවතුරෙයි (කයිට්ස්) අධිකරණය නියෝග කර තිබේ.

යාපනය කොට්ඨාස පහ භාර සහකාර පොලිස් අධිකාරී දිල්රුක් මහතාගේ උපදෙස් මත කයිට්ස් පොලිසිය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

a-sword-in-the-van-driven-by-the-17-year-old-jaffna-student-who-was-shot-and-killed-by-disobeying-orders

a-sword-in-the-van-driven-by-the-17-year-old-jaffna-student-who-was-shot-and-killed-by-disobeying-orders