කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) වගන්තිය යටතේ නිල මතයක් ප්‍රකාශ කිරීම අනවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බවයි.
මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇත්තේ අදාළ පනත් කෙටුම්පත්වලට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම්, එම පෙත්සම්කරුවන් විසින්ම යළි ඉල්ලා අස්කර ගෙන ඇති පසුබිමකයි.
පසුගියදා මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ, අදාළ පනත් කෙටුම්පත් දැනට පවතින ආකාරයෙන්ම සම්මත කරගැනීමට කටයුතු නොකරන බවයි.
ඒ වෙනුවට මෙම පනත් කෙටුම්පත් විශේෂඥ කමිටුවක් වෙත යොමු කර, එහිදී යෝජනා වන අලුත් සංශෝධන ද ඇතුළත් කරමින් යළිත් වරක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා එහිදී අධිකරණයට දන්වා තිබුණි.
නීතිපතිවරයා විසින් ලබා දුන් එම සහතිකය මත පදනම්ව, පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට ගොස් සිටි පෙත්සම්කරුවන් සිය පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට එදින එකඟ වී තිබේ.
මේ නිසා කුලී පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මතවීමට ඉඩ තිබේ.