තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සෘජුවම ආධාර අනුබල දුන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (16) කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 20 සහ 24 යන වයස්වල පසුවන, නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන නදුන් කවීෂ සහ සනෝජ් කෝකිල නමැති තරුණයින් දෙදෙනෙකි.
ඝාතනය සඳහා යොදාගත් ගිනිඅවි ප්‍රවාහනය කිරීම, වෙඩික්කරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සහ නීතිඥවරයාගේ වාහනය නවතා ඇති ස්ථානය පිළිබඳව ඝාතකයින්ට ඔත්තු ලබාදීම යන බරපතළ චෝදනා මොවුන්ට එරෙහිව එල්ල වී ඇත.පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර, සැකකාර සහෝදරයින් දෙදෙනා විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවන් වන තරිඳු මධුසංඛ නොහොත් 'ටුටූ' සහ 'මෝදර නිපුන' යන අයගේ මෙරට අයිස් මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන්නන් බවටද හඳුනාගෙන තිබේ. විදෙස්ගත අපරාධකරුවන් විසින් "සුද්දා අයියාගේ වැඩක් තියෙනවා, ඒක කරන්න ඕනේ" යැයි පවසමින් දින හතක කාලයක් සඳහා කුලී පදනම මත මෝටර් රථයක් ලබාගන්නා ලෙස මොවුන්ට උපදෙස් දී ඇත. ඒ අනුව කොට්ටාව ප්‍රදේශයේ ආයතනයකින් කළු පැහැති මෝටර් රථයක් කුලියට ගෙන ඇති මෙම සහෝදරයින්, පසුව වෙනත් පුද්ගලයෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයට ගොස් ත්‍රීරෝද රථයකින් පැමිණි අයෙකුගෙන් ගිනිඅවි සහිත පාර්සලයක් ලබාගෙන තිබේ.
අදාළ ගිනිඅවි භාවිත කරමින් නීතිඥවරයා ඝාතනය කරන බවට මෙම සහෝදරයින් සතියක පමණ පෙර සිටම දැනුවත්ව සිට ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත. නීතිඥවරයා සිය බිරිඳව ඇයගේ සේවා ස්ථානයෙන් රැගෙන දිනපතා පස්වරු 4.30ත් 5.00ත් අතර කාලයේදී පිටත්ව යන බවට සැකකරුවන් විසින් මනා ලෙස ඔත්තු බලා තිබේ. අනතුරුව වෙඩිතැබීම සිදුවූ දිනයට පැය කිහිපයකට පෙර අකුරේගොඩ සුපිරි වෙළෙඳසැල අසලට ගොස්, එහි නවතා තිබූ වෙනත් මෝටර් රථයකට අදාළ ගිනිඅවි පාර්සලය ඔවුන් විසින් භාර දී ඇත. එදින නීතිඥවරයාගේ රථය සුපිරි වෙළෙඳසැලේ රථගාලේ නවතා ඇති බවට වෙඩික්කරුවන්ට තොරතුරු ලබාදී ඇත්තේද මොවුන් දෙදෙනා විසිනි.
වෙඩික්කරුවන් විසින් නීතිඥවරයා සහ බිරිඳ ඝාතනය කරන අවස්ථාව වනවිට මෙම සහෝදරයින් දෙදෙනා එම ස්ථානයෙන් පිටත්ව හෝකන්දර දෙසට ගමන් කර තිබුණි. කෙසේ වෙතත්, ඝාතනයට අදාළ සීසීටීවී දර්ශන සහ වෙනත් තාක්ෂණික සාක්ෂි ඔස්සේ පුළුල් විමර්ශනයක් සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය, වෙඩික්කරුවන්ට ගිනිඅවි රැගෙන ආ කුලී මෝටර් රථය නිශ්චිතවම හඳුනාගැනීමට සමත් විය. ඒ අනුව, ලබාගත් දින 7ක කාලය අවසන් වී අදාළ මෝටර් රථය කොට්ටාවේ පිහිටි කුලී රථ ආයතනය වෙත යළි භාරදීම සඳහා ඊයේ පස්වරුවේ යමින් සිටියදී, පොලීසිය විසින් රථය ලුහුබැඳ ගොස් සැකකරුවන් දෙදෙනාව සිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී වෙඩික්කරුවන් පිළිබඳවද වැදගත් කරුණු හෙළි වී තිබේ. ඊට අනුව එක් වෙඩික්කරුවෙකු ඝාතනයට දින තුනකට පෙර පන්නිපිටිය ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ඇති අතර, අනෙක් පුද්ගලයා එහි පැමිණ ඇත්තේ වෙඩිතැබීම සිදුකළ දිනයේදීය. මෙම වෙඩික්කරුවන්ට අවශ්‍ය අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු සෙසු පහසුකම් ලබාදීම මෙම සහෝදරයින් විසින් සිදුකර ඇත. කෙසේ වෙතත්, මෙම අපරාධයට පහසුකම් සැලසීම වෙනුවෙන් මොවුන්ට කිසිදු මුදලක් ලැබී නොමැති අතර, ඒ වෙනුවට ඔවුන්ට අයිස් මත්ද්‍රව්‍ය ලබා දී ඇති බව පොලීසිය පවසයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ මෙහෙයවීම මත, බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ මඟපෙන්වීමෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි. මේ අතර, මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ පිටිගල, ගොඩමුණ පවුලේ සුසාන භූමියේදී සිදුකෙරුණි.
