හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචිව සිටි මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දහසය හැවිරිදි පාසල් සිසුවියකගේ සිරුරක් ඇයගේ නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය වාර්තා කරයි. මෙම දැරිය හෝමාගම ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලබමින් සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දරු තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල දියණිය වූ මෙම සිසුවිය සිය මව, පියා සහ වැඩිමහල් සහෝදරිය සමග එකම නිවසේ ජීවත් වී තිබේ. සිද්ධිය වූ දින රාත්‍රියේ ඇය සිය වැඩිමහල් සහෝදරිය සමග එකම කාමරයක නින්දට ගොස් ඇති අතර, රාත්‍රියේ එක්වරම අවදි වූ සහෝදරියට බාල දියණිය ඇඳෙහි නොමැති බව දැකගන්නට ලැබී ඇත. ඉන් කලබලයට පත් ඇය ඒ පිළිබඳව වහාම සිය පියාට දැනුම් දී තිබේ. ඉන් අනතුරුව නිවැසියන් විසින් සිදු කළ සොයාබැලීමේදී නිවස පිටුපස කුස්සියට යාබද අගුවේ සිරුර එල්ලෙමින් තිබෙනු පියා විසින් දැක ඇත.
එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ පියා විසින් දැරියව හෝමාගම මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇතත්, රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබේ. සිද්ධියට අදාළව මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සහ සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කරනු ලැබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පණිත සෙනෙවිරත්න මහතා විසින් සිදු කර ඇත.
මෙම මරණ පරීක්ෂණයේදී මියගිය සිසුවිය විසින් ලියන ලදැයි සැක කෙරෙන ලිපියක් ද ඥාතීන් විසින් ඉදිරිපත් කර තිබේ. ඥාතීන් විසින් ඉදිරිපත් කළ එම සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණයේ වෛද්‍ය වාර්තාව කෙරෙහි අවධානය යොමු කළ හදිසි මරණ පරීක්ෂකවරයා, මෙම පාසල් දැරියගේ මරණය ගෙල සිරවීමෙන් සිදුවූවක් බවට නිගමනය කර තිබේ.