how-did-you-run-out-of-gas

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන පරිදි මේ වන විට මෙරට වෙළෙඳපොළ තුළ ලාෆ්ස් ගෑස් සැපයුමේ යම් අඩුවක් දක්නට ලැබෙන අතර, ලාෆ්ස් පාරිභෝගිකයින් වෙනත් විකල්ප වෙත යොමුවීම මත ලිට්‍රෝ ගෑස් සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇත. ලිට්‍රෝ ගෑස්වල කිසිදු හිඟයක් නොමැති බවත්, සමාගම සතුව ප්‍රමාණවත් තොග පවතින බැවින් උපරිම ධාරිතාවයෙන් යුතුව වෙළෙඳපොළට නිකුත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ කරයි.




කෙසේ වෙතත්, දිවයින පුරා පාරිභෝගිකයින් පවසන්නේ පසුගිය මාසයක පමණ කාලයක සිට තැනින් තැන පැවති ලිට්‍රෝ ගෑස් හිඟය මේ වන විට දැඩි වී ඇති බවයි. ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින්ට කිලෝමීටර ගණනාවක් දුර ගෙවා යාමට සිදුව ඇති අතර, කොළඹ නගර සීමාවේ මෙන්ම පිට පළාත්වල අලෙවි නියෝජිතයින් ද සඳහන් කරන්නේ දින කිහිපයක සිට තමන්ට ප්‍රමාණවත් ගෑස් තොග ලැබී නොමැති බවයි. ගෑස් ඇණවුම් කිරීමේ ප්‍රමාදයක් සහ තොග නොමැතිවීම මීට බලපා ඇති බව නම හෙළි නොකළ ලිට්‍රෝ සමාගමේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 20 වන අද දින නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම අවධාරණය කරන්නේ වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් නොමැති බවත්, ඉල්ලුම අනපේක්ෂිත ලෙස ඉහළ යාම හේතුවෙන් සැපයුම් ජාලයේ සුළු බාධාවන් පමණක් ඇති වූ බවත්ය. තත්ත්වය සමනය කිරීම සඳහා පසුගිය 17 සහ 18 යන දිනවලදී ගෑස් සිලින්ඩර 284,000ක් නිකුත් කර ඇති අතර අද දිනය වන විට තවත් සිලින්ඩර 351,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇත. තවද, මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් රැගත් නෞකා තුනක් මෙරටට පැමිණීමට නියමිත බව සමාගම දන්වා සිටියි.




මේ අතර, ලිට්‍රෝ සමාගම මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකින් කරුණු අනාවරණය වී තිබේ. එහි දැක්වෙන්නේ සමාගම සතුව පවතින්නේ සීමිත ගබඩා ධාරිතාවක් බැවින් අඩු මිලට ගෝලීය වෙළෙඳපොළෙන් විශාල ගෑස් තොග මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි. කෙරවලපිටිය ගබඩාවේ මෙට්‍රික් ටොන් 8,000ක් ද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් කර්මාන්ත සඳහා මිලදී ගන්නා ගෑස් ගබඩා කරන මාබිම ගබඩාවේ මෙට්‍රික් ටොන් 400ක් ද පමණක් රඳවා තබා ගත හැකි අතර, සීමිත බෝයා පහසුකම් ද මෙම තත්ත්වයට බලපා ඇත. කෙසේ නමුත්, ගබඩා ධාරිතාව පුළුල් කිරීමේ ශක්‍යතා අධ්‍යයන කටයුතු සඳහා උපදේශකයින් පත්කර ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියක් මේ වන විට ආරම්භ කර ඇති බව ලිට්‍රෝ සමාගම විගණනයට පෙන්වා දී තිබේ.

අනෙක් පසින් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඔවුන්ගේ සැපයුම අඩාල වී ඇත්තේ හම්බන්තොට වරායේ පිහිටි ගබඩා පර්යන්තය ආශ්‍රිතව දේශීය සැපයුම් වෙනුවෙන් පවතින රෙගුලාසිමය සීමාවන් හේතුවෙන් බවයි. එම බාධාවන් ඉවත් කරගැනීමට බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින අතර, පවතින ඉල්ලුම සපුරාලීමට සෘජුවම කොළඹ වරාය හරහා ගෑස් ආනයනය කිරීමට ද මේ වන විට කටයුතු යොදා ඇත. ඒ අනුව, ලබන 25 වැනිදා ලාෆ්ස් ගෑස් තොග රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත අතර 26 වැනිදා සිට යළිත් වෙළෙඳපොළට සැපයුම ලබා දෙන බව අදාළ සමාගම දැනුම් දී ඇත.



මෙම තත්ත්වය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය බියක් ඇති කර ගනිමින් එකවර විශාල වශයෙන් ගෑස් මිලදී ගෙන කෘත්‍රිම හිඟයක් නිර්මාණය කිරීමට දායක නොවන ලෙසයි. පවතින ගෑස් තොග සඟවා තබන සහ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා දිවයින පුරා දැඩි වැටලීම් ක්‍රියාත්මක කිරීමට සියලු දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.