
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළදී ගණේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනාව මත රඳවාගෙන ප්‍රශ්න කරන තමරා කුමාරි අබේරත්න නීතිඥවරිය, ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් රාජ්‍ය බැංකුවක ගිණුම් අටක් (8) පවත්වාගෙන ගොස් ඇති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා වෙත ඊයේ (19) දැනුම් දුන්නේය.
උපන් දිනය පමණක් වෙනස් කර සකස් කළ මෙම ව්‍යාජ හැඳුනුම්පත මගින් කඩවත ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක අදාළ ගිණුම් අට විවෘත කර ඇති බවත්, ඒ හරහා රුපියල් ලක්ෂ ගණනක මුදල් සංසරණය කිරීමෙන් පසු එම ගිණුම් වසා දමා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඊට අමතරව, කඩවත මහබෝධි මාවතේ පදිංචි තමරා කුමාරි අබේරත්න නමැති මෙම සැකකාර නීතිඥවරිය කඩවත පිහිටි පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය ඇයගේ නීත්‍යානුකූල ගිණුමක් හරහා පසුගිය වසර තුනක කාලය තුළ රුපියල් කෝටි විසිහතරක (මිලියන 240ක) පමණ දැවැන්ත මූල්‍ය ගනුදෙනු සිදුකර ඇති බවද රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
ගණේමුල්ලේ සංජීව ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්ම නමැති සැකකරුගෙන් ලද තොරතුරු මත මෙම නීතිඥවරිය අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය අධිකරණ භූමියට රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයක් සහ තවත් නීති ග්‍රන්ථ දෙකක් ලබාදීම සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කෙරේ. තවද, ඝාතනය සිදුකළ 'කොමාන්ඩෝ සලින්ත' නමැති වෙඩික්කරුට සහ එහි මහමොළකාරිය ලෙස සැලකෙන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැත්තියට නීතිඥවරුන් ලෙස වෙස්ගැනීම සඳහා කළු කබා, නීතිඥ ලාංඡනය සහිත ටයි පටි, ඇයගේ අත්සනින් යුත් ව්‍යාජ නීතිඥ හැඳුනුම්පත් නිර්මාණය කරදීම මෙන්ම ඔවුන් පැමිණි වාහනවලට අධිකරණ සංකීර්ණයට ඇතුළු වීම සඳහා නිල ලාංඡන සැපයීම සම්බන්ධයෙන් ද ඇය රහස් පොලිසියේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වෙමින් සිටියි.
මෙම සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් භාරයට ගත් රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීම සම්බන්ධයෙන්ද තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වේ. අදාළ මෝටර් රථය සැකකාරියගේ පුත්‍රයාගේ මාමණ්ඩියගේ නමින් මිලදී ගෙන ඇති එකක් බව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට පෙන්වා දෙනු ලැබිණි.
රහස් පොලිසිය විසින් අදාළ විමර්ශන ප්‍රගති වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ, ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ හිටපු උප පොලිස් පරීක්ෂක නිරෝෂන් උදිත් උදයශාන්තට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදීය. බන්ධනාගාර නිලධාරීන් විසින් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ එම සැකකාර හිටපු පොලිස් පරීක්ෂකවරයාව අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුව ලබන මස 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.