1.30pm
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබෙයි,මැයි මස 14 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතයි.
11.00am
ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් සඳහා මොහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
අදාළ සිද්ධිය පසුගිය ජනවාරි මස 08 වැනිදා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී වාර්තා වී තිබූ අතර, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ඉලක්ක කර ගනිමින් මෙම පහරදීම සිදු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර අවස්ථා කිහිපයකදීම රංගන ශිල්පියාට පොලිසිය විසින් දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත්, එම දැනුම්දීම් මගහරිමින් ඔහු පොලිසියට පැමිණීම පමා කර තිබූ බව වාර්තා වේ. පසුව අද (03) දින ඔහු වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වීමෙන් අනතුරුව, සිද්ධියට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය ද කරුණු තහවුරු කර ඇත. පහර කෑමට ලක්වූ පාර්ශ්වය මාධ්‍යවේදියෙකු හෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර හේමාල් රණසිංහ ගල්කිස්ස උසාවියට ඉදිරිපත්කරන බව පොලිසිය පවසයි.