හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ප්‍රකාශයක් ලබා දීම සඳහා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) වෙත පැමිණියාය. අද (03) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර සිදු කරන ලද දැනුම්දීමකට අනුව ඇය මෙලෙස පැමිණ තිබේ.
ඇයව මෙලෙස කැඳවා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ පවත්වාගෙන ගිය ‘සිරිලිය’ ගිණුමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. විශේෂයෙන්ම මෙම ‘සිරිලිය’ බැංකු ගිණුම ආරම්භ කිරීමේදී ඊට අදාළ ජාතික හැඳුම්පත් අංකය ලෙස ‘222222222V’ යන අංකය යොදා තිබීම පිළිබඳව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මීට පෙර පසුගිය 27 වන දින ඇයට මෙම ප්‍රකාශය ලබා දීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද, නීතිඥයෙකු මාර්ගයෙන් ඉල්ලීමක් කරමින් ඇය දන්වා සිටියේ එදිනට පැමිණිය නොහැකි බැවින් සති දෙකක කාලයක් ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත්, අදාළ ඉල්ලීම තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් අද දින අනිවාර්යයෙන්ම පෙනී සිටින ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඇයට නැවත දැනුම් දී තිබිණි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන ආරම්භ කරන ලද්දේ 2015 වසරේ යහපාලන රජය සමයේදී වන අතර, වසීම් තාජුඩීන් ඝාතන විමර්ශනවලදී ද ‘සිරිලිය’ සංවිධානයට ලබා දී තිබූ ඩිෆෙන්ඩර් රථයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබිණි. 2015 ජූනි 01 වන දින මෙම විමර්ශනයට අදාළව ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යාමේදී විමර්ශන නිලධාරීන්ට එවක කථානායක චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත යාමට සිදුවූ බව ද වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.