ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින පෙරවරු 10.15ට පමණ කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. 'කෙහෙල්බද්දර පද්මේ' නමැති පාතාල ලෝකයේ ප්‍රබල සාමාජිකයා සමඟ පැවැත්වූ බව කියන සබඳතා සහ යම් මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සිදු කෙරෙන පුළුල් විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයා මෙලෙස එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
මීට පෙර අවස්ථාවකදී ද මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදු කර තිබුණි. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා දිවයිනෙන් බැහැරව විදෙස්ගතව සිටීම හේතුවෙන් ඊට සහභාගී වීමට නොහැකි බව දන්වා සිටි අතර, ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව අද දිනය ලබා දී තිබූ බව වාර්තා වේ.
මේ අතර, හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද අද උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණියාය. 'සිරිලිය' ගිණුමේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට ඇයව මෙලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.