dinesh-who-was-riding-a-high-speed-bike-hit-the-light-pole-and-fell-in-the-iluk-garage

වලස්මුල්ල, බෝවල මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් විසිතුන් හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉකුත් 30 වැනිදා සවස 6.25ට පමණ බෝවල රණවිරු මාවත ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර, යතුරුපැදියේ ගමන් ගත් විසිඑක් හැවිරිදි තවත් තරුණයෙකු බරපතළ තුවාල ලබා වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය පවසයි.




මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලස්මුල්ල, ඇත්පිටිය, පන්සල පාරේ කපුහේන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි ගංගොඩ මානගේ දිනේෂ් චාමර නමැති අවිවාහක තරුණයෙකි. අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ වලස්මුල්ල, බෝවල පාරේ කොස්ගහගොඩ පදිංචි ඇල්ලවෙල පහළගේ පසිඳු සඳරුවන් නමැති තරුණයා ය.

වලස්මුල්ල හදිසි මරණ පරීක්ෂක සඳසිරි රණසිංහ මහතා විසින් මියගිය තරුණයාගේ හදිසි මරණ පරීක්ෂණය 31 දා වලස්මුල්ල මූලික රෝහලේදී පැවැත්වූ අතර එහිදී අනතුරට පත් යතුරුපැදියේ හිමිකරු වන විසිපස් හැවිරිදි ප්‍රමෝද් කෞෂල්‍ය සමරතුංග මහතා සාක්ෂි ලබා දෙමින් සිද්ධිය විස්තර කර තිබේ. තමා සතු යතුරුපැදිය අධිවේගයෙන් ධාවනය කළ හැකි වර්ගයේ එකක් බැවින්, එය පැදීමට ඇති ආශාව නිසා මියගිය දිනේෂ් චාමර තමාගෙන් යතුරුපැදිය ඉල්ලා ගෙන ගිය බවත්, ඉන් ස්වල්ප වේලාවකට පසු මෙම අනතුර සිදුවූ බවට පණිවුඩයක් ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.




අනතුර සිදුවූ ස්ථානයට යන විට දිනේෂ් මාර්ගයේ වම් පස ඉලුක් ගාලක තිබූ විදුලි කණුවක් අසල බරපතළ මුහුණු හා හිස තුවාල සහිතව වැටී සිටි බවත්, යතුරුපැදිය මීටර් 20ක් පමණ දුරින් වැටී තිබූ බවත් සාක්ෂි විභාගයේදී අනාවරණය විය. අසල්වාසීන් පිරිසක් විසින් ත්‍රිරෝද රථයකින් තුවාලකරු රෝහලට රැගෙන ගියද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව සාක්ෂි මගින් තහවුරු විය. මියගිය අයගේ බාල සොහොයුරා වන ගංගොඩ මානගේ තාරක රොමාල් යන අයද මෙහිදී සාක්ෂි ලබා දුන්නේය.

තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එච්.ජී. ප්‍රමුදිත් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, මාර්ගස්ථ රිය අනතුරක් හේතුවෙන් හිස් කබලට සහ මොළයට සිදුවූ බරපතළ හානි නිසා මෙම මරණය සිදුව ඇති බවට නිගමනය කෙරිණි. වලස්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඕෂධ ද සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

dinesh-who-was-riding-a-high-speed-bike-hit-the-light-pole-and-fell-in-the-iluk-garage