did-you-know-that-car-companies-such-as-nissan-mitsubishi-jaguar-genesis-are-going-bankrupt

ඔබ භාවිත කරන මෝටර් රථය නිෂ්පාදනය කළ සමාගම කඩාවැටෙමින් පවතින බවත්, ඒ පිළිබඳව ඔබේ මෝටර් රථ අලෙවි නියෝජිතයා හෝ අදාළ සමාගම ඔබට කිසිවක් පවසා නොමැති බවත් මොහොතකට සිතන්න. වර්තමානය වන විට ඇතැම් මෝටර් රථ සමාගම්වල විකුණුම් සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර, අලෙවි නියෝජිතයන් දැඩි අරගලයක නිරත වේ.

නිෂ්පාදන පෙළගැස්ම කුඩා වීම සහ තරඟකාරීත්වයට මුහුණ දීමට නොහැකි වීම හේතුවෙන්, මෝටර් රථ හිමිකරුවන් අසරණ වී ඇත්තේ ඔවුන් සතු වාහනවල වටිනාකම ද දිනෙන් දින පහත වැටෙන පසුබිමක ය. ප්‍රසිද්ධ මූල්‍ය වංචා, අසාර්ථක ව්‍යාපාරික තීරණ හෝ වෙළඳපොළ තරඟකාරීත්වය හමුවේ පරාජය වීම නිසා කඩාවැටීමේ අද්දර සිටින ප්‍රධාන මෝටර් රථ සන්නාම 06ක් පිළිබඳව මෙම ලිපියෙන් අවධානය යොමු කෙරේ. 

මෙහි ඇති විශේෂතම කරුණ නම්, මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වන සන්නාමය දැඩි අර්බුදයක පවතින නමුත් තවමත් ඉහළ විකුණුම් වාර්තා කිරීමයි.

6) Genesis (ජෙනසිස්) 

ලැයිස්තුවේ හයවන ස්ථානයට පත්වන්නේ BMW සහ Mercedes වැනි දැවැන්තයන් සමඟ තරඟ කිරීමට Hyundai සමූහය විසින් නිර්මාණය කරන ලද සුඛෝපභෝගී අංශය වන Genesis (ජෙනසිස්) සන්නාමයයි. ජර්මානු මට්ටමේ සුඛෝපභෝගී බවක් අඩු මිලකට ලබා දීම ඔවුන්ගේ මූලික අරමුණ වුවද, ගැනුම්කරුවන් තවමත් එය දකින්නේ "මිල අධික ඇඳුමකින් සැරසුණු Hyundai" රථයක් ලෙසයි. සුඛෝපභෝගී මෝටර් රථ වෙළඳපොළේදී ගැනුම්කරුවන් සොයන්නේ තත්ත්වය (Status) මිස අඩු මිල ගණන් නොවේ.

පසුගිය වසරේ ඇමරිකාවේ ඒකක 75,000ක් අලෙවි වුවද, එය BMW හි 371,000ක සහ Lexus හි 346,000ක විකුණුම් හා සැසඳීමේදී ඉතා අල්ප අගයකි. ඉන්ධන පොම්පවල දෝෂ සහ විද්‍යුත් මෝටර් රථවල (EV) හදිසි බලය අඩුවීම වැනි කාර්මික ගැටළු රැසක් හේතුවෙන් පාරිභෝගික විශ්වාසය පළුදු වී ඇති අතර, අනාගතයේදී මෙම සන්නාමය වෙළඳපොළෙන් මැකී යාමේ අවදානමක් පවතී. 

5)Jaguar (ජැගුවාර්) 

පස්වන ස්ථානයට පත්වන්නේ එක් කාලයකදී බ්‍රිතාන්‍ය සුඛෝපභෝගීත්වයේ සංකේතයක් වූ Jaguar (ජැගුවාර්) සන්නාමයයි. නමුත් අද වන විට Jaguar යනු එහි අතීත අභිමානයේ ඡායාවක් පමණි. 

සම්පූර්ණ විද්‍යුත් මෝටර් රථ (EV) වෙත මාරුවීම සඳහා සිදු කළ හදිසි තීරණ නිසා නිෂ්පාදන රික්තයක් නිර්මාණය වී ඇති අතර, නව EV මාදිලි 2026 වන තෙක් වෙළඳපොළට නොපැමිණීම බරපතල ගැටළුවකි. ඔවුන්ගේ සාම්ප්‍රදායික 'පනින කොටියාගේ' ලාංඡනය ඉවත් කර සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රති-සන්නාමකරණය (rebrand) දරුණු විවේචනයට ලක් වූ අතර, වසර ගණනාවක් පුරා ගොඩනගා ගත් ප්‍රතිරූපය එක රැයකින් විනාශ විය. විශ්වසනීයත්වය අතින් ඉතා පහළ මට්ටමක (සන්නාම 32කින් 29වන ස්ථානය) පසුවන Jaguar රථවල නැවත විකිණීමේ වටිනාකම ද සීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබේ. 

4)Mitsubishi (මිට්සුබිෂි) 

හතරවන ස්ථානය හිමිවන්නේ වරක් රැලේ ධාවන පථයන් සහ ලෝකයේ මාවත් ජයගත් Mitsubishi (මිට්සුබිෂි) සන්නාමයටයි. Lancer Evolution සහ Montero වැනි අද්විතීය මාදිලි ලොවට දායාද කළ මෙම සන්නාමය අද වන විට පැවැත්ම සඳහා සටන් කරමින් සිටී. 2002 වසරේදී ඇමරිකාවේ රථ 345,000ක් අලෙවි කළ ඔවුන්, වසර 20කට පසු එය ඒකක 86,000ක් දක්වා පහත වැටී ඇති අතර නව තීරුබදු පැනවීම් හරහා තත්ත්වය තවදුරටත් දරුණු වී ඇත. යාන්ත්‍රික දෝෂ වසන් කිරීම සහ ඉන්ධන දත්ත වෙනස් කිරීම වැනි අතීතයේ සිදුවූ වංචනික ක්‍රියා නිසා පාරිභෝගික විශ්වාසය බිඳ වැටුණි. Nissan සමාගම මැදිහත් වී පාලනය භාර නොගන්නට Mitsubishi නාමය මීට පෙරම අභාවයට යන්නට ඉඩ තිබුණි. 

3) Infiniti (ඉන්ෆිනිටි) 

තෙවන ස්ථානයට පත්වන්නේ Nissan සමාගමේ සුඛෝපභෝගී සන්නාමය වන Infiniti (ඉන්ෆිනිටි) ය. BMW වැනි කාර්ය සාධනයක් සහ ජපන් විශ්වසනීයත්වයක් අපේක්ෂා කළ ගැනුම්කරුවන් ආකර්ෂණය කරගත් මෙම සන්නාමය, අද වන විට අනන්‍යතාවයක් නොමැති තත්ත්වයට පත්ව ඇත. 2017 වසරේ ඇමරිකාවේ ඒකක 153,000ක් අලෙවි කළද, 2024 වන විට එය 58,000ක් දක්වා අඩු විය. විකුණුම් කඩාවැටීම හේතුවෙන් ස්වාධීන ප්‍රදර්ශනාගාර වසා දමා Nissan අලෙවි නියෝජිතයන් වෙත පසුබැසීමට ඔවුන්ට සිදු වී තිබේ. ක්‍රීඩාශීලී කාර්ය සාධනය පසෙකලා සාමාන්‍ය මට්ටමේ මාදිලි වෙත යොමු වීමත්, ගියර් පද්ධති සහ එන්ජින් ආශ්‍රිත කාර්මික දෝෂත් හේතුවෙන් Infiniti සන්නාමය වේගයෙන් වෙළඳපොළෙන් ඉවත්වෙමින් පවතී. 

2)Chrysler (ක්‍රයිස්ලර්) 

දෙවන ස්ථානය හිමිවන්නේ ඇමරිකානු මෝටර් රථ ඉතිහාසයේ දැවැන්තයෙකු වූ Chrysler (ක්‍රයිස්ලර්) වෙතයි. වරක් ඇමරිකානු පවුල්වල ප්‍රියතම සන්නාමය වූ Chrysler හි විකුණුම් 2005 සිට මේ දක්වා 80%කින් පමණ පහත වැටී ඇත. ඔවුන්ගේ ජනප්‍රිය Chrysler 300 මාදිලිය නිෂ්පාදනය නැවැත්වූ අතර, වෙළඳපොළේ ඉතිරිව ඇත්තේ Pacifica වැනි සීමිත මාදිලි කිහිපයක් පමණි. තරඟකාරී ආයතන නව තාක්ෂණය සමඟ ඉදිරියට යද්දී Chrysler පැරණි තාක්ෂණය මත රැඳී සිටීම ඔවුන්ගේ විනාශයට හේතු විය. Stellantis සමූහයේ ප්‍රධානියා අනතුරු අඟවා ඇත්තේ ලාභ නොලබන සන්නාම අතුරුදහන් විය හැකි බවයි. මෙය සනාථ කරමින් ඔවුන්ගේ අපේක්ෂිත නව විද්‍යුත් මෝටර් රථ ව්‍යාපෘතියක් ද මෑතකදී අවලංගු කෙරිණි. 

1)Nissan (නිසාන්) 

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වන්නේ බොහෝ දෙනා පුදුමයට පත් කරන නමකි; ඒ ලොව සුපතල Nissan (නිසාන්) සන්නාමයයි. කඩදාසි මත විකුණුම් ඉලක්කම් යහපත් මට්ටමක (ඇමරිකාවේ ඒකක 865,000ක්) පෙනුනද, සමාගම අභ්‍යන්තරව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. ගෝලීය වශයෙන් ඩොලර් බිලියන 4.5ක පාඩුවක් සහ මෙහෙයුම් ලාභය 90%කින් පහත වැටීම හේතුවෙන් සේවකයින් 20,000කට ආසන්න පිරිසක් ඉවත් කිරීමට සහ කර්මාන්තශාලා වසා දැමීමට Nissan සමාගමට සිදු වී ඇත. හිටපු ප්‍රධානියා වූ කාලෝස් ගෝන්ගේ (Carlos Ghosn) මූල්‍ය අක්‍රමිකතා සහ Honda සමඟ ඒකාබද්ධ වීමට ගත් උත්සාහය අසාර්ථක වීම වැනි කරුණු නිසා සමාගම බරපතල අනතුරක පවතී. 

අභ්‍යන්තර මූලාශ්‍රවලට අනුව, ප්‍රධාන ආයෝජකයෙකු සොයා නොගතහොත් සමාගමට පැවතීමට ඇත්තේ තවත් මාස 12-14ක් වැනි කෙටි කාලයක් පමණි. මෝටර් රථ නිෂ්පාදකයෙකු පැවැත්ම සඳහා සටන් කරන විට, එහි පළමු වන්දිය ගෙවන්නේ සමාගම නොව එම මෝටර් රථ මිලදී ගත් පාරිභෝගිකයින් බව සිහි තබා ගැනීම වැදගත් වේ.