චීනයේ කැපිටල් ගුවන් සේවය, බෙයිජිං ඩැක්සිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවට නව ගුවන් ගමන් ආරම්භ කරමින්, සිය මංගල ගුවන් යානය ඊයේ (31) දින පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සාර්ථකව ගොඩබස්වා ඇත.
මෙම මංගල ගුවන් ගමන සඳහා A-330 එයාර්බස් යානයක් යොදා ගැනුණු අතර, එය කටුනායක ගුවන් තොටුපොළට පිවිසීමේදී සාම්ප්‍රදායික ජල ආචාරයෙන් පිළිගැනීමට ලක්විය.
ඊයේ (31) පස්වරු 1.46 ට බෙයිජිං නුවරින් පැමිණි කැපිටල් ගුවන් සේවයේ JD-487 දරන මෙම මංගල ගුවන් යානයේ මගීන් 170 දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 13 දෙනෙකු සිටියහ.
මෙම නව ගුවන් සේවය සතියකට දෙවරක්, සෑම අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක වීමට නියමිතය. ගුවන් යානා පස්වරු 2.20 ට කටුනායකට පැමිණ, එදිනම පස්වරු 4.20 ට බෙයිජිං බලා පිටත්ව යනු ඇත. මෙම ගුවන් ගමන සඳහා පැය අටක කාලයක් ගත වේ.
මෙම ඓතිහාසික ගුවන් ගමන පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති ෂූ යංවෙයිං මහතා, කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.