වැටලීමක් සිදු කිරීම සඳහා ගිය පොලිස් කණ්ඩායමකට බාධා කරමින් පුද්ගලයන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් මහඔය පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මහඔය පොලිසිය සඳහන් කරන පරිදි අදාළ පහර දීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (31) දිනයේ මෙම පහර දීම වාර්තා වී ඇත්තේ මහඔය, ගල්වලයාය ප්‍රදේශයේදීය. දූෂණ මර්දන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු එම ප්‍රදේශයේ වැටලීමක නිරතව සිටියදී එතැනට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පොලුවලින් පහර දී ඇති බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේ එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාගේ දකුණු අතට තුවාල සිදුවී ඇති අතර, ඔහු මේ වන විට මහඔය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය වන අවස්ථාවේදී අදාළ සැකකරුවන් අධික ලෙස බීමතින් සිට ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.