
2016 වසරේ ජනවාරි මස පළමු වැනි දින හෝ ඊට පසු රාජ්‍ය සේවයට බඳවා ගත් නිලධාරීන් සදහා විශ්‍රාම වැටුප් හිමිකම් ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් නිකුත් කරනු ලැබ ඇති එම චක්‍රලේඛයට අනුව 2016 වසරේ ජනවාරි මස පළමු වැනි දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් සියලුම නිලධාරීන්ගේ පත්වීම් ලිපි සංශෝධනය කරන බව ද සඳහන් කර තිබේ.
ඒ අනුව, එම පත්වීම් ලිපිවල “මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. තවද ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. රජය මගින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුය.” යනුවෙන් සංශෝධනය කරන බව ද එහි සඳහන් කර තිබේ.
මීට අමතරව ඉදිරියේදී රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන නිලධාරින්ගේ පත්වීම් ලිපිවල ද විශ්‍රාම වැටුප් හිමිකම් ලබා දෙන බව ද එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.2026 වසරේ අයවැය යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම පියවර ගන්නා බව ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ චක්‍රලේඛය සඳහන් කර ඇත. 2016 වසරේ ජනවාරි මස පළමු වැනි දින හෝ ඉන් පසුව රාජ්‍ය සේවයට බඳවාගත් නිලධාරින්ගේ පත්වීම් ලිපිවල ඔවුන් දායකත්ව විශ්‍රාම වැටුපකට හිමිකම් කියන බව සඳහන් කර තිබිණි.