මෙරට ප්‍රථම ඇත්ගොව් කත ලෙස සැලකෙන 75 හැවිරිදි පී. ඥානවතී මහත්මිය පසුගිය දා අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
දින කිහිපයකට පෙර ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.ඇගේ දේහය අගලවත්ත මල් ශාලාවක තැන්පත් කර අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව, අවසන් කටයුතු පසුගිය 21 වන දින බදුරලිය තුඹගල්ල ආදාහනාගාරයේදී සිදු කෙරිණි. ඥානවතී මහත්මිය 1995 වසරේදී පමණ දොම්පේ පදිංචි සරත් ගාමිණී රාජපක්ෂ මහතා සමඟ විවාහ වී හැඩිගල්ල, දික්වෙන ප්‍රදේශයට පදිංචියට පැමිණියාය. ඉන් අනතුරුව, 2005 වසරේදී අඹතලේ ප්‍රදේශයේ අලියකු රැකබලා ගැනීම සඳහා තමා සමඟ ඥානවතී මහත්මිය ද ගිය බව ඇගේ සැමියා වන ගාමිණී රාජපක්ෂ මහතා පවසා ඇත.
එහිදී ඥානවතී මහත්මිය සහ ගාමිණී රාජපක්ෂ මහතා එක්ව 'ගුණේ' නම් අලියා රැකබලා ගෙන ඇති අතර, 2017 වසර වන විට එම අලියා රැකබලා ගැනීමේ සම්පූර්ණ වගකීම ඇයටම පැවරුණු බව ද ගාමිණී රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා ඇත. ගුණේ අලියා සමඟ ඥානවතී මහත්මිය මහනුවර, ලංකාතිලකය, නවගමුව, කැලණිය, බෙල්ලන්විල ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ පෙරහර රැසක් අලංකාර කිරීමට ද දායක වී තිබේ.
මේ අතර, 2022 වසරේදී පමණ දෙණියාය ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් වූ අලියකු ද මාසිකව රුපියල් පහළොස් දහසක වැටුපකට ඥානවතී මහත්මිය රැකබලා ගත් බව ඇගේ සැමියා සඳහන් කරයි.