
මහව ප්‍රදේශයේ නිවෙසක කසිප්පු වැටලීමකට ගිය පොලිස් සැරයන්වරයෙකුට පහර දී මිරිස් කුඩු ඉස, ඔහුගේ අත සපා කෑ බව කියන ආබාධිත හිටපු යුද හමුදා සෙබළෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මහව මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයට අනුයුක්ත නිලධාරියෙකි මේ සිද්ධියට මුහුණ දී ඇත්තේ.
අදාළ වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී කසිප්පු බෝතල් 25ක් අඩංගු බූලියක් පොලිස් භාරයට ගෙන ඇත. සැරයන්වරයාගේ අත කිහිප වතාවක් සපා කා, මුළුතැන්ගෙයට දිව ගොස් ඔහුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර පලා යමින් සිටියදී පොලිසිය විසින් සැකකරු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබේ. තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා රෝහල්ගත කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
කසිප්පු ජාවාරම් කිරීම, පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම සහ තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ මෙම ආබාධිත සෙබළා අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (22) 'ලංකාදීප'යට පැවසීය. ඔහු වෛද්‍ය නිර්දේශ මත නිවසේ රැඳී සිටින අයෙකු බවද වාර්තා වේ. මහව මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.