the-german-who-went-to-bathe-in-the-mud-drowned

අලුත්ගම කළුවාමෝදර තරුපන්තියේ සංචාරක හෝටලයක විවේකය ගත කරමින් නතරව සිටි ජර්මන් ජාතිකයකු මුහුදේ නෑමට ගොස් දියේ ගිලී මිය ගොස් ඇති බව අලුත්ගම පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ ජර්මනියේ ත්‍රිවන් බොලන්ඩ් හි පදිංචිව සිට කෙටි නිවාඩුවකට අලුත්ගම පැමිණ සිටි හුන්ක් ෆ්‍රෙඩ් හිනර්ව (74) නමැති විශ්‍රාමික විදෙස් ජාතිකයෙකි.

මෙම විදෙස් ජාතිකයා සිය බිරිය සමග සංචාරක වීසා මත ඉකුත් ජනවාරි 21 මෙරටට පැමිණ තිබේ. එම අවස්ථාවේ වෙරළ තීරයේ රැඳී සිටි විදේශිකයන් හා ශ්‍රී ලාංකික පිරිස එක්වී දියේ ගිලුණු ජර්මන් ජාතිකයා ගොඩගෙන බේරුවල රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇත.බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා අලුත්ගම පොලිස් නිලධාරීන් හා මියගිය විදේශිකයාගේ බිරිඳ, හෝටල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුත් සමග බේරුවල රෝහලට පැමිණ මෘත දේහය පිළිබඳ මූලික මරණ පරික්ෂණය සිදුකර, අනතුරුව මෙරට ජර්මන් තානාපති කාර්යාලය දැනුම් දෙන තෙක් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස මරණ පරික්ෂකවරයා නියම කළේය.