
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසන්නේ, වැල්ලවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් තුළ බදු පදනම මත පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා තායිලන්ත ජාතික කාන්තාවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ, අත්අඩංගුවට ගත් එක් කාන්තාවක් කළමනාකාරිනියක ලෙස කටයුතු කරමින් අනෙකුත් කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා ඇති බවයි.
මෙම කාන්තාවන්ගේ වයස අවුරුදු 28 ත් 38 ත් අතර පසුවෙති.කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ බුද්ධි අංශ නිලධාරියකු උපාය දූතයකු ලෙස යොදවා සිදුකළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව, මෙම ගණිකා මධ්‍යස්ථානයට ඇතුළුවීම සඳහා රුපියල් 10,000 ක මුදලක් අය කරන අතර, කාන්තාවක් තෝරා ගැනීම සඳහා තවත් රුපියල් 10,000 ක් ගෙවිය යුතු බව වාර්තා වේ. එක් කාන්තාවක දිනකට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ උපයන බවත්, විදේශ ජාතිකයකු සේවාව ලබා ගැනීම සඳහා පැමිණියහොත් රුපියල් 25,000 ක මුදලක් අය කරන බවට ද පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකාරියන් සියලු දෙනා වලංගු වීසා බලපත්‍ර සහිතව මෙරට රැඳී සිටිමින් මෙම නීති විරෝධී ක්‍රියාවේ නිරත වී ඇති බව පෙනී යයි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.