ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සිය 44 වැනි අභිමානවත් සංවත්සරය සමරන මෙම වකවානුව වන විට, මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට මහා භාණ්ඩාගාරයේ මූල්‍ය දායකත්වයෙන් තොරව ස්වාධීනව පවත්වාගෙන යාමේ හැකියාව උදා කරගෙන තිබේ. 2017 වසරේ සිට 2024 දක්වාම සම්පූර්ණයෙන්ම භාණ්ඩාගාර ප්‍රතිපාදන මත යැපුණු ජාතික රූපවාහිනිය, පසුගිය වසරේ සිට එම තත්ත්වයෙන් සාර්ථකව මිදී ඇති බව සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
පෙබරවාරි 14 වැනිදාට යෙදෙන රූපවාහිනී සංවත්සරය වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය.මෙම සැමරුමට සමගාමීව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර, ඒ යටතේ මේ මස 13 වැනිදා රාත්‍රියේ රූපවාහිනී පරිශ්‍රයේදී සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක්ද, 14 වැනිදා දානමය පුණ්‍යකර්මයක්ද පැවැත්වීමට නියමිතව ඇත. ඊට අමතරව 15 වැනිදා සර්ව ආගමික වැඩසටහනක් ඇතුළු තවත් සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
1982 වර්ෂයේදී ජපන් රජයෙන් මෙරටට ලැබුණු වර්ණ රූපවාහිනී ත්‍යාගයක් ලෙසින් ඇරඹි ජාතික නාලිකාව මේ වන විට මෙරට ජාතික උරුමයක් බවට පත්ව ඇතැයි සභාපතිවරයා පෙන්වා දුන්නේය. රජයේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති මාලාවට සමගාමීව, කිසිදු ආණ්ඩුවක හොරණෑවක් බවට පත් නොවී ස්වාධීනව සහ අපක්ෂපාතීව කටයුතු කිරීම සිය අරමුණ බව හෙතෙම අවධාරණය කළේය. ජපානයේ ජයිකා (JICA) ආයතනය සමඟ ඇති කරගත් සාර්ථක සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ඉදිරි මාස කිහිපය තුළ දැනට පවතින ඇනලොග් තාක්ෂණයෙන් සම්පූර්ණයෙන්ම මිදී ඩිජිටල්කරණයට ලක්වීමට නියමිත අතර, වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවේ ප්‍රථම 4K තාක්ෂණික මැදිරිය ජාතික රූපවාහිනියට හිමිවනු ඇත.
නාලිකාවේ වැඩසටහන් අන්තර්ගතය පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, වෙනත් කිසිදු මාධ්‍යයක් අවධානය යොමු නොකළ වකවානුවක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් දැවැන්ත වැඩසටහන් මාලාවක් ජාතික නාලිකාව හරහා දියත් කළ බවයි. ඒ සඳහා වෛද්‍යවරුන් සහ බුද්ධිමතුන් දහසකට අධික පිරිසකගේ දායකත්වයෙන් මාස හතරක් වැනි කෙටි කාලයකදී වැඩසටහන් 317ක් විකාශය කර තිබේ. ඉදිරියේදී දරුවන්ගේ සංස්කෘතිය, සදාචාරය සහ භාෂා භාවිතය නිසි පරිදි සුරකින ගුණාත්මක ළමා වැඩසටහන් රැසක් නිර්මාණය කිරීමට ද පියවර ගෙන ඇත. අතීතයේදී අධික මිල ගණන් යටතේ හරසුන් ටෙලිනාට්‍ය මිලදී ගැනීම හේතුවෙන් කඩා වැටී තිබූ නාට්‍ය කලාවට නව පණක් දෙමින්, සභාපතිවරයාගේ හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීමකින් තොරව විනිවිදභාවයකින් යුතුව නිර්මාණ තෝරාගැනීමට වත්මන් පාලනාධිකාරිය කටයුතු කර ඇත.
මේ අතර අදහස් දැක්වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් අමරසිංහ මහතා සඳහන් කළේ, ආසියානු ශාන්තිකර කලාපීය විකාශකයන්ගේ සංගමයේ (ABU) පූර්ණ සාමාජිකයෙකු ලෙස ජාතික රූපවාහිනිය ජාත්‍යන්තර මට්ටමින් දැවැන්ත කාර්යභාරයක් ඉටුකරන බවයි. පසුගිය නොවැම්බර් මාසයේදී විදෙස් රටවල් 40කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් අන්තර්ජාතික සමුළුවක් මෙරටදී සාර්ථකව පැවැත්වීමටද රූපවාහිනිය කටයුතු කළේය. එම ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හරහා වඩාත් විශ්වාසදායී විදෙස් පුවත් මෙරට ප්‍රේක්ෂකයන්ට සමීප කිරීමට හැකි වී ඇති අතර, 2024 රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මාන 26කට වැඩි ප්‍රමාණයක් දිනාගනිමින් වැඩිම සම්මානලාභී නාලිකාව බවට පත්වීමටද ජාතික රූපවාහිනියට හැකි වී තිබේ.