paddy-marketing-board-is-active-again---this-time-allocating-1000-crores-to-buy-paddy-from-farmers-in-the-high-season

මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීම සඳහා රජය රුපියල් බිලියන දහයක (කෝටි දහසක) මුදලක් වෙන් කර ඇති බව වී අලෙවි මණ්ඩලය නිවේදනය කරයි. කොළඹ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කළේ, නාඩු වී කිලෝවක් රුපියල් 120කට, සම්බා කිලෝවක් රුපියල් 130කට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 140කට වශයෙන් රජය විසින් ගොවීන්ගෙන් මිල දී ගනු ලබන බවයි.




දැනටමත් වී මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, මේ වන විටත් මෙට්‍රික් ටොන් 5000ක පමණ ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබේ. ඉන් මෙට්‍රික් ටොන් 4000කට වැඩි ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් ලබා ගෙන ඇති බවත්, පොළොන්නරුව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකින් ඉදිරියේදී වී තොග ලැබීමට නියමිත බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. සමස්තයක් ලෙස මෙම කන්නය තුළ වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ දස දහසක් මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් සියලු පහසුකම් සූදානම් කර ඇත.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දිවයින පුරා වී අලෙවි මණ්ඩල මධ්‍යස්ථාන 166ක් සක්‍රීයව පවතී. ගොවීන් අපහසුතාවයට පත් නොකරමින්, ඔවුන් වී අලෙවි කරන දිනයට පසු දිනම ඊට අදාළ මුදල් ගොවි බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට පියවර ගෙන ඇති බව ද මෙහිදී අනාවරණය විය. වී අලෙවි මණ්ඩලයට අමතරව ලංකා සතොස සහ සමුපකාර ජාලය හරහා ද වී මිල දී ගැනීම් සිදු කෙරෙන අතර, මේ වන විටත් සමුපකාර ආයතන මගින් සැලකිය යුතු වී තොග ප්‍රමාණයක් මිල දී ගෙන අවසන්ය.




රජය විසින් මිල දී ගනු ලබන්නේ තෙතමනය සියයට 14ට වඩා අඩු වී පමණක් බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස බලධාරීහු ගොවිජනතාවගෙන් ඉල්ලා සිටිති. වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය සාම්පල මේ වන විටත් මණ්ඩලය වෙත ලැබෙමින් පවතින අතර, මහවැලි කලාප ඇතුළු සෙසු ප්‍රදේශවලින් ද ඉදිරියේදී අපේක්ෂිත වී තොග ලැබෙනු ඇත. මෙලෙස රැස් කරගන්නා වී තොග සහල් බවට පත් කිරීමෙන් අනතුරුව, පාරිභෝගික ජනතාව වෙත පවතින සහතික මිලටත් වඩා අඩු මුදලකට නිකුත් කිරීමට කටයුතු කරන බව වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.