the-cold-war-between-jagat-and-chaminda-started-with-the-kamera-incident

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සහ මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාට එරෙහිව ලැබී ඇති පැමිණිලි ද්විත්වය සම්බන්ධයෙන් කඩිනමින් විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.




පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ එම කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව, අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ දියත් කරන ලෙස අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.

මෙම සිදුවීම වාර්තා වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ නියෝජ්‍ය මහලේකම්වරයෙකු විසින් කථානායකවරයෙකුට එරෙහිව දූෂණ චෝදනා එල්ල කරමින් පැමිණිල්ලක් ගොනු කළ ප්‍රථම අවස්ථාව ලෙස වන අතර, වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය 02 වනදා පස්වරුවේ මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත භාර දෙන ලදී.




කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලෙහි බරපතල දූෂණ හා අක්‍රමිකතා චෝදනා අටක් අන්තර්ගත වන අතර, නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම, නිල වාහන අවභාවිතය සහ පාර්ලිමේන්තු මාධ්‍ය අංශයට අයත් උපකරණ අවභාවිත කිරීම ඒ අතර ප්‍රධාන වේ.

තවද, නියමිත මුදල් ගෙවීමකින් තොරව පාර්ලිමේන්තු ගිණුම හරහා අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම, රජයේ නිල නිවාස දෙකක් නීතිවිරෝධීව පරිහරණය කිරීම සහ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරමින් දූෂණ වසන් කිරීමට උත්සාහ දැරීම වැනි චෝදනා ද කථානායකවරයාට එරෙහිව එල්ල වී තිබේ.



මීට අමතරව, විමර්ශන නිලධාරියෙකු නීතිවිරෝධී ලෙස පත් කර ඔහුට පාර්ලිමේන්තු ප්‍රතිපාදන මගින් මුදල් හා පහසුකම් ලබාදීම මෙන්ම කාර්ය මණ්ඩල පරිපාලනයට අනිසි ලෙස මැදිහත් වීම ද පැමිණිල්ලේ සටහන්ව ඇති තවත් කරුණු කිහිපයකි.

අල්ලස් කොමිසම විසින් විමර්ශනයේ මූලික පියවරක් ලෙස අදාළ පැමිණිලිවලට අදාළ සියලු ලිපිලේඛන පාර්ලිමේන්තුවෙන් කැඳවීමට තීරණය කර ඇති අතර, එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව කථානායකවරයාගෙන් සහ චමින්ද කුලරත්න මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

මේ අතර, ආර්. කන්නන් නැමැත්තෙකු විසින් චමින්ද කුලරත්න මහතාට එරෙහිව ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, කුලරත්න මහතා නියෝජ්‍ය මහලේකම් ධුරයට පත් කර ඇත්තේ දූෂිත සහ නීතිවිරෝධී ක්‍රියාවලියක් හරහා බව එහි සඳහන් වේ.

හිටපු පරිපාලන නිලධාරී එස්.කේ. ලියනගේ මහතා සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකින් කුලරත්න මහතා අදාළ ධුරය සඳහා සුදුසුකම් සපුරා නොමැති බව තහවුරු වීම හේතුවෙන්, කථානායකවරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව විසින් මීට පෙර ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

චමින්ද කුලරත්න මහතා පවසන පරිදි, තමාගේ වැඩ තහනම් කිරීමට හේතු වී ඇත්තේ 2025 ජුනි මස 18 වන දින කථානායකවරයාගේ දිවා ආහාර කාමරයේදී ඇති වූ පෞද්ගලික සිද්ධියක් මුල් කරගනිමින් කථානායකවරයා තමා කෙරෙහි ඇති කරගත් ද්වේශ සහගත ආකල්පයයි.

කුලරත්න මහතාගේ නීතිඥ මිතුන් ඩයස් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම පැමිණිල්ල රජයට එරෙහිව එල්ල කරන්නක් නොව, හුදෙක් කථානායකවරයාගේ පෞද්ගලික පළිගැනීම් සහ දූෂිත ක්‍රියාවලට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක් බවයි.

කෙසේ වෙතත්, චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ අන්තර්ගතය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ඉල්ලා ඇති අතර, මෙවැනි මැදිහත්වීම් හරහා ස්වාධීන පරීක්ෂණවලට බාධා එල්ල විය හැකි බවට විපක්ෂ මන්ත්‍රීවරුන් සිය කනස්සල්ල පළ කර සිටිති.

තවද, මෙම තොරතුරු හෙළිදරව් කිරීම හේතුවෙන් තමාට එල්ල විය හැකි තර්ජන සලකා බලා, අපරාධ තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීමේ පදනම මත තමාට රැකවරණය ලබා දෙන ලෙස ද කුලරත්න මහතා අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ.

මෙම පැමිණිල්ලේ පිටපත් නීතිපතිවරයා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසමේ සභාපතිවරයා වෙත ද යොමු කිරීමට චමින්ද කුලරත්න මහතා පියවර ගෙන ඇත.