tissamaharama-spa-owner-who-molested-the-french-came-from-india-and-attacked

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරන පරිදි, තිස්සමහාරාම ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.




පොලීසියට ලැබී ඇති තොරතුරු අනුව, මෙම සිදුවීමට මුල පිරී ඇත්තේ තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට සම්බාහනයක් සඳහා ප්‍රංශ ජාතික කාන්තාවක පැමිණීමත් සමඟය.

එහිදී, සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකාරියගේ සැමියා තමාට ලිංගික අතවර කළ බවට එම ප්‍රංශ ජාතික කාන්තාව සිය ඉන්දියානු ජාතික මිතුරකුට දැනුම් දී ඇත.




පසුව, මේ පිළිබඳව විමසීම සඳහා ඉන්දියානු ජාතික මිතුරා අදාළ ස්ථානයට ගොස් ඇති අතර, එහිදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇත. මේ සම්බන්ධයෙන් සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකාරිය විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දැනුම් දී තිබේ.

සිද්ධියෙන් අනතුරුව, සැකකාර ඉන්දියානු ජාතිකයා තිස්සමහාරාම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පහරදීමට ලක්වූ පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.



ලිංගික අතවරයට ලක්වූ බවට චෝදනා කරන ප්‍රංශ ජාතික කාන්තාව ද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.