an-explanation-about-the-house-tenancy-act-amendment

ගෙවල් කුලී පනත අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත සහ යෝජිත පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජනතාවට අදහස් දැක්වීම සඳහා ලබා දී තිබූ කාලසීමාව ඊයේ (03) දින සිට තවත් මසක කාලයක් සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දැනට පවතින කුලී පනත ඉවත් කර ඒ වෙනුවට හඳුන්වා දෙනු ලබන නව පනත මගින් නිවාස කුලියට දෙන පුද්ගලයන්ට හෝ නිවාස කුලියට දීම ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යනු ලබන කිසිදු පාර්ශ්වයකට අගතියක් සිදු නොවන බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.




විශේෂඥ කමිටුවක් මගින් විධිමත් ක්‍රමවේදයකට අනුව සකස් කළ මෙම පනත් කෙටුම්පත් ද්විත්වය පසුගිය 2025 සැප්තැම්බර් 18 වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර, අනතුරුව මාස කිහිපයක් පුරා භාෂා ත්‍රිත්වයෙන්ම පුවත්පත් සහ වෙබ් අඩවි දැන්වීම් පළ කරමින් මහජන අදහස් විමසීමට කටයුතු කළ බව හර්ෂණ නානායක්කාර මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පසුගිය ජනවාරි 29 වන දින ලිඛිත ඉල්ලීමක් සිදු කරමින් මෙම පනත් කෙටුම්පත් අධ්‍යයනය කර කරුණු දැක්වීමට කාලය ඉල්ලා සිටි බැවින්, රජය විසින් හොර රහසේ පනත් සම්මත කර ගැනීමට උත්සාහ නොකරන බවත්, එම ඉල්ලීම සලකා බලා අද සිට මසක කාලයක් මහජන අදහස් විමසීම දීර්ඝ කළ බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අතර මෙම නව පනත් කෙටුම්පතේ මූලික අරමුණ වන්නේ නිවාස හිමියා සහ කුලී නිවැසියා අතර ඇති කරගනු ලබන නීත්‍යානුකූල ගිවිසුම තහවුරු කරමින් දෙපාර්ශ්වයේම අයිතිවාසිකම් සුරැකීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. බොහෝ අවස්ථාවලදී නීතිය ඉදිරියේ නිවාස හිමියන් අසරණ වන අවස්ථා මෙන්ම කුලී නිවැසියන් අසාධාරණයට ලක්වන අවස්ථා ද දැකිය හැකි බැවින් එම පාර්ශ්ව දෙකම ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.




විශේෂයෙන්ම ගිවිසුම්ගත කාලසීමාව තුළ කුලී නිවැසියන් පලවා හැරීමේ අරමුණින් ජලය හෝ විදුලිය විසන්ධි කිරීම වැනි අඩත්තේට්ටම් සිදු කිරීමට කිසිදු පාර්ශ්වයකට මෙම පනත මගින් ඉඩක් නොලැබෙන අතර එසේ සිදුවන අවස්ථාවලදී කුලී නිවැසියන්ට මෙම පනත හරහා සාධාරණය ඉටු කර ගත හැකි බව නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. මෙම පනත බලාත්මක වන්නේ දෙපාර්ශ්වය අතර පවතින ලිඛිත ගිවිසුම මත පදනම්ව පමණක් බවත්, ගිවිසුමෙන් බාහිරව සිදුවන කටයුතු පාලනය කිරීම සඳහා සාමාන්‍ය නීතිය අදාළ වන බවත් කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.