akuregoda-update-lawyer-mallavarachchi-spoke-about-the-court-case-for-the-killer-caught-in-moneragala

අකුරේගොඩදී නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන දෙවන වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු මොනරාගල, නක්කල, ටැංවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබූ ඡායාරූප හඳුනාගත් ප්‍රදේශවාසියෙකු විසින් 119 හදිසි අංකයට ලබාදුන් තොරතුරකට අනුව ඊයේ (24) රාත්‍රියේ මොනරාගල පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරුවන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් දැඩි රැකවල් මැද කොළඹට රැගෙනවිත් ඇති අතර, මේ වනවිට මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනාම සහ ඊට ආධාර අනුබල දුන් කණ්ඩායම නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසිය සමත්වී ඇත.




අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කනංකේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මනෝජ් උදයංග නමැත්තෙකි. ඔහු වසර එකොළහක පමණ කාලයක් නාවික හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත්වූවෙකු වන අතර, රූබස් රමේෂ් යන ව්‍යාජ නමින් විදෙස් ගමන් බලපත්‍රයක් ද සකසා ගෙන තිබේ. මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින මොහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ද ඔහු සතුව හෙරොයින් සහ කුෂ් මත්ද්‍රව්‍ය තිබී ඇත. සොරකමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි සමයේදී අපරාධ කල්ලි නායකයෙකු වන කරන්දෙණිය සුද්දා සමග මොහු සම්බන්ධතා ගොඩනඟාගෙන ඇති අතර, පසුව ඔහුගේ විශ්වාසවන්තම මෙන්ම දක්ෂතම වෙඩික්කරුවා බවට පත්ව තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී සැකකරු හෙළිකර ඇත්තේ, තමා ඝාතනය කිරීමට යන්නේ නීතීඥ බුද්ධික මල්ලවාරච්චි බව දැනගත්තේ වෙඩි තැබීමට එම ස්ථානයට ගිය පසු බවයි. මීට පෙර එක්තරා අවස්ථාවකදී කරන්දෙණිය සුද්දා හරහා මෙම නීතීඥවරයා සැකකරුගේ නඩුවක් සඳහා පෙනී සිට ඇති බවද වැඩිදුරටත් අනාවරණය වී තිබේ. කරන්දෙණිය සුද්දාගේ සෘජු උපදෙස් මත පිස්තෝලයක් භාවිතයෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති ඔහු, ඉන්පසු බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයකම සැඟව සිට දින තුනකට පමණ පෙර මොනරාගල ප්‍රදේශයට පලාගොස් ඇත. මොහු මීට පෙර බන්ධනාගාර නිලධාරියෙකු ඇතුළු දකුණු පළාතේ මනුෂ්‍ය ඝාතන හයකට පමණ සම්බන්ධ අයෙකු වන අතර, මේ වනවිට ඔහු දින 90ක රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට සූදානම් වේ.




වෙඩික්කරුට අමතරව අත්අඩංගුවට ගෙන ඇති අනෙක් සැකකරුවන් දෙදෙනා වන්නේ ඝාතකයින් පැමිණි මෝටර් රථය පැදවූ බවට සැකකෙරෙන අම්බලන්ගොඩ පදිංචි දිනුජන සඳරුවන් සහ ඔවුන්ට නවාතැන් පහසුකම් සැපයූ අංගොඩ පදිංචි කැළුම් සුජීව නැමැත්තාය. මෝටර් රථයේ රියදුරුගේ ඥාතීන් කිහිපදෙනෙකුම කරන්දෙණිය සුද්දාගේ සමීපතමයන් බව වාර්තා වේ. මොනරාගල ප්‍රදේශයේ නිවස කුලියට ගෙන ඇත්තේ මාර්ග සංවර්ධන කටයුතුවල නිරතවන කැළුම් සුජීව විසිනි. අපරාධකරුවකු වන පෙතියාගොඩ සංඛ නැමැත්තාගේ දුරකථන උපදෙස් මත මීට සති දෙකකට පෙර රියදුරුව ද, මීට දින පහකට පෙර වෙඩික්කරුව ද මෙම මොනරාගල නිවසට ගෙන්වාගෙන ඔවුන්ට රැකවරණය ලබා දී ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබේ.