ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි20 ලෝක කුසලාන බලාපොරොත්තු මුළුමනින්ම බිඳ දමමින්, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති සුපිරි අට වටයේ තරගයෙන් ලකුණු 61ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට ශ්‍රී ලංකාව තීරණය කළද, දඟපන්දු යවන්නන්ට උචිත වූ තණතීරුවේ ස්වභාවයෙන් උපරිම ප්‍රයෝජන ගත් නවසීලන්ත ක්‍රීඩකයෝ සම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසි කළහ.දිල්ෂාන් මධුශංකගේ පන්දු දෝලනය වුවද නවසීලන්ත ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබා ගත් අතර, මහීෂ් තීක්ෂණ විසින් ෆින් ඇලන් දවා ගැනීමත් සමඟ ඔවුන්ගේ කඩුලු බිඳ වැටීම ආරම්භ විය. අනතුරුව ටිම් සයිෆර්ට් ද කමිඳු මෙන්ඩිස්ගේ රැකගැනීමක් හමුවේ දැවී ගිය පසු, රචින් රවීන්ද්‍ර සහ ග්ලෙන් ෆිලිප්ස් එක්ව ඉනිම ගොඩනැගීමට උත්සාහ කළහ. කෙසේ වෙතත්, දුෂ්මන්ත චමීර විසින් ෆිලිප්ස් දවා ගැනීමෙන් පසුව තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ ක්‍රියාත්මක වීමත් සමඟ ලකුණු 76කට කඩුලු 2ක් ලෙස සටහන්ව තිබූ නවසීලන්ත ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 84ක් දක්වා කඩා වැටුණි.
අසීරු තත්ත්වයකට පත්ව සිටි නවසීලන්ත ඉනිමට ජීවයක් ලබා දුන් කෝල් මැක්කොන්චි සහ නායක මිචෙල් සැන්ට්නර් එක්ව විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැගූහ. මැක්කොන්චි පන්දු 23කදී නොදැවී ලකුණු 31ක් රැස් කළ අතර, ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ සැන්ට්නර් දැවැන්ත හයේ පහරවල් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේය. ඉනිමේ අවසන් පන්දුවාර හතර තුළදී පමණක් ලකුණු 70ක් රැස් කිරීමට ඔවුන් සමත් වූ අතර, ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක අභියෝගාත්මක මුළු ලකුණු සංඛ්‍යාවක් කරා ළඟා වීමට නවසීලන්තයට හැකි විය.
ලකුණු 169ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භයම අඩාල කරමින් ඉනිමේ පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක දවා ගැනීමට මැට් හෙන්රි සමත් විය. අනතුරුව චරිත් අසලංකගේ කඩුල්ල ද දවාගත් හෙන්රි ශ්‍රී ලංකා ඉහළ පෙළ අඩපණ කළ අතර, පවර්ප්ලේ (Powerplay) අවස්ථාව නිමා වන විට කඩුලු 2කට ලකුණු 20ක් ලෙස තරගාවලියේ මෙතෙක් වාර්තා වූ මන්දගාමීම ආරම්භය ශ්‍රී ලංකාවට හිමි විය. අසීරු තත්ත්වයක පැවති තණතීරුව මත ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට යාමේදී කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක, දසුන් ශානක සහ දුෂාන් හේමන්ත යන පිතිකරුවන් සිව්දෙනාම දවා ගැනීමට රචින් රවීන්ද්‍ර සමත් වීම ශ්‍රී ලංකා ඉනිමේ විශාලතම පසුබෑම බවට පත් විය.
කමිඳු මෙන්ඩිස් ලකුණු 31ක් රැස් කරමින් යම් සටනක් ලබා දුන්නද, නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 107ක් පමණි. රචින් රවීන්ද්‍ර ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අතර, මෙම ප්‍රතිඵලයත් සමඟ ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් වීමට සිදුවන විට, පාකිස්තාන කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය (Net Run Rate) පිළිබඳ ගැටලුව තවත් සංකීර්ණ කිරීමට ද නවසීලන්තය සමත් වී ඇත.
