බොරැල්ල පොලිස් වසමට අයත් සහස්පුර මහල් නිවාස සංකීර්ණය සහ වනාතමුල්ල ඩම්පෙක වත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නව පොලිස් ස්ථානයක් 2026 වසරේ මාර්තු මාසයේදී ස්ථාපිත කිරීමට නියමිතව ඇත. කොළඹ දකුණ කොට්ඨාස භාර නිලධාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතා විසින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා විසින් මීට අදාළ පූර්ණ අනුමැතිය මේ වන විටත් ලබා දී තිබේ.
මෙම තීරණයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන පාතාල කල්ලි දෙකක් අතර මත්ද්‍රව්‍ය ජාවාරම මුල්කරගනිමින් සිදුවන නිරන්තර ගැටුම් සහ වෙඩි තැබීම් හේතුවෙන් ජන ජීවිතයට එල්ල වී ඇති බලපෑමයි. සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් තරුණ පරපුර දැඩි ලෙස විනාශ මුඛයට ඇද වැටෙමින් පවතින පසුබිමක, ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනට පවතින පොලිස් මුරපොළ පමණක් ප්‍රමාණවත් නොවන බව බලධාරීන් හඳුනාගෙන ඇත. නව පොලිස් ස්ථානයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා ප්‍රදේශයේ ජනතාව මෙන්ම කුඩා දරුවන් ද ඉල්ලීම් කර ඇති අතර, ඒ සඳහා ප්‍රදේශවාසීන් දහසකට අධික පිරිසකගේ අත්සනින් යුත් පෙත්සමක් ද භාර දී තිබේ.
නව පොලිස් ස්ථානයක් පිහිටුවීමට ගෙන ඇති මෙම පියවරත් සමඟ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාලය තුළ දැඩි කලබලයක් හටගෙන ඇති බව වාර්තා වේ. මෙම කටයුත්ත කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් මේ වන විටත් සමාජ මාධ්‍ය හරහා විවිධ අසත්‍ය වීඩියෝ සහ සටහන් පළ කරමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරත වෙමින් සිටිති. කෙසේ වෙතත්, බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර මහතා සහ සහස්පුර පොලිස් මුරපොළ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර මහතා ඇතුළු නිලධාරීන් එක්ව මේ වන විටත් අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
'රුහිරු' විසින් මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලද ගවේෂණයකදී අදහස් දැක්වූ ජනතාව පවසා සිටියේ නව පොලිස් ස්ථානයක් හිමිවීම හරහා තම දරුවන් සමඟ බියකින් තොරව නිදහසේ ජීවත් වීමේ පරිසරයක් නිර්මාණය වනු ඇති බවයි. පොලිස්පතිවරයා විසින් ගනු ලැබූ මෙම තීරණයට ප්‍රදේශයේ නීතිගරුක ජනතාවගේ පූර්ණ සහයෝගය හිමිවන බවත්, මින් ඉදිරියට දරුවන්ගේ අනාගතය සහ ජනතාවගේ ජීවිත වඩාත් සුරක්ෂිත වනු ඇති බවත් ප්‍රදේශවාසීහු එහිදී පෙන්වා දුන්හ.



