අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි කීල්ස් සුපිරි වෙළෙඳසැල් රථගාලකදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ එක් වෙඩික්කරුවෙකු සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ පුද්ගලයෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළ අතර, අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ද්විත්ව ඝාතනය සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අංක 102/9, පන්සල පාර, මීවෙල, රුක්ගහවෙල ලිපිනයේ පදිංචි රූබට් සුරේෂ් නමැත්තෙකු බවට මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ක්‍රියාත්මක ය. මීට අමතරව, අපරාධය සිදු කිරීම සඳහා වෙඩික්කරුවන් වෙත ගිනිඅවි ප්‍රවාහනය කර ලබා දුන් බව කියන සනෝජ් කෝකිල ලියනආරච්චි නමැත්තා මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට පෙර වෙඩික්කරුවන් නවාතැන්පොළ වෙත රැගෙන ආ KW 8733 දරන මෝටර් රථයේ හිමිකරු වන ගාල්ල, ඇත්කඳුර, පරණ කොළණිය ප්‍රදේශයේ පදිංචි වන්නිආරච්චිගේ සිහින දිල්සර නමැත්තා ද හඳුනාගෙන ඇති අතර, ඔහු සහ අදාළ මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට ද පරීක්ෂණ ආරම්භ කර ඇත.
අපරාධය සඳහා ඍජුවම සම්බන්ධ වූ KI 7738 දරන මෝටර් රථය බද්දේගම ප්‍රදේශයේදී ගිනි තබා විනාශ කර තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ. තවද, ඝාතනය සඳහා අවශ්‍ය ගිනි අවි රැගෙන ඒමට භාවිත කළ KS 8987 දරන රථය ද කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට විමර්ශකයින් සමත් වී ඇත.
මේ අතර, පාතාල අපරාධකරුවන් කිහිප දෙනෙකු සමග සමීප සබඳතා පැවැත්වූ දේශපාලඥයින් පිරිසක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සිය ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. කෙහෙල්බද්දර පත්මේ ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 30ක් ඔස්සේ සිදු කළ පුළුල් විමර්ශනවලදී මෙම කරුණු හෙළි වී තිබේ. ඒ අනුව අදාළ දේශපාලඥයින් සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවත්, එම විමර්ශන සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් සිදු කරන බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.