suspended-3-officers-who-helped-hansamali-escape-from-mt

ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානයේ රැඳවුම් භාරයේ පසුවූ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හංසමාලී නමැති කාන්තාවක පළා යාමේ සිදුවීමක් මුල්කර ගනිමින් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. මෙලෙස රාජකාරියෙන් තාවකාලිකව ඉවත් කර ඇත්තේ අදාළ දිනයේ රාත්‍රී රාජකාරි භාරව සිටි සැරයන්වරයෙකු, උප සේවක ලෙස කටයුතු කළ සැරයන්වරයෙකු සහ සැකකාරියට ආරක්ෂාව සැපයූ කාන්තා පොලිස් කොස්තාපල්වරියකි.




මෙම පලායාමේ සිද්ධිය පසුගිය 16 වනදා වාර්තා වී ඇති අතර, එහිදී සැකකාරිය වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් පවසා කාන්තා කොස්තාපල්වරියක සමඟ පිටතට පැමිණ ඇත. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඇය පොලිස් අත්අඩංගුවෙන් මිදී ඒ අසල මාර්ගයේ සූදානම් කර තිබූ යතුරුපැදියකට නැගී පළා ගොස් ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, පළා ගිය සැකකාර කාන්තාව සොයා වහාම ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් පැය අටක පමණ මෙහෙයුමකින් පසු එදිනම තලවතුගොඩ, කිඹුලාවල ප්‍රදේශයේදී ඇයව නැවත වරක් පොලිස් භාරයට ගැනීමට සමත් විය. ඇය ඇවිදින මං තීරුවේ ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට පත්විය.




මෙම සැකකාරිය මුලින්ම අත්අඩංගුවට ගෙන තිබුණේ මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ පිහිටි විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. රත්මලාන, මැලිබන් හන්දිය ආසන්නයේ අත්තිඩිය ප්‍රධාන මාර්ගයේ සිදුකළ වැටලීමකදී ඇය සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 36,650ක ප්‍රමාණයක් ද ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබුණි.

suspended-3-officers-who-helped-hansamali-escape-from-mt