akuregoda-killings-sudda-said-to-shoot-anyone-who-is-caught---mahazon-did-everything-is-fake

අකුරේගොඩ පිහිටි Keels සුපිරි වෙළෙඳසැලක රථගාලේ නතර කර තිබූ මෝටර් රථයක සිටි නීතිඥ ගයාන් බුද්ධික මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබූ බවට සැලකෙන, ගෝනපීනුවල අලුත්වෙල අම්පේගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සුනිල් රංජිත් හෙවත් 'මහසෝන් කළුවා' නැමැති හිටපු යුද හමුදා සෙබළෙකි.

අදාළ සැකකරු 2009 වසරේ පොදු සමාව යටතේ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්වූවෙකු වන අතර, ඔහු මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවට පොලිසිය තහවුරු කර ඇත.




මෙම අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය අපරාධකරුවෙකු කොටුකර ගැනීමකට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් වූ අතර, ඒ පිටුපස ඇති සංවිධානාත්මක පාතාල ජාලයේ ක්‍රියාකාරිත්වය සහ ඔවුන්ගේ අමානුෂික සැලසුම් පිළිබඳව බොහෝ තොරතුරු මේ හරහා සමාජයට අනාවරණය වෙමින් පවතී.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් ගෝනපීනුවල සුනිල් රංජිත් ප්‍රදේශවාසීන් අතර ඔහු වඩාත් ප්‍රකටව සිටින්නේ 'මහසෝන් කළුවා' නැමැති අන්වර්ථ නාමයෙනි. මොහු මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ හිටපු සෙබළෙකු වන අතර, පසුගිය 2009 වසරේදී ලබාදුන් පොදු සමාව කාලසීමාව තුළදී ඔහු නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වී තිබේ. කෙසේ වෙතත්, හමුදා සේවයෙන් ඉවත්වීමෙන් අනතුරුව ඔහු දැඩි ලෙස අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර, ගම්වාසීන්ගේ තොරතුරු වලට අනුව ඔහු මත්කුඩු ජාවාරම්වලට සහ සුළු පරිමාණ සොරකම් වලට සම්බන්ධ වෙමින් ප්‍රදේශය තුළ කල් ගෙවා ඇති පුද්ගලයෙකි. මොහුට මීට පෙර මංකොල්ලකෑම්, බැංකු මංකොල්ලකෑම් සහ ටී-56 ගිනි අවි නීතිවිරෝධී ලෙස ළඟ තබා ගැනීම වැනි චෝදනා එල්ල වී තිබුණද, මිනීමැරුම් වැනි බරපතළ ගණයේ අපරාධ සඳහා සෘජුවම සම්බන්ධ වී ඇති බවට මින් පෙර තහවුරු වී නොතිබුණි.




මෙම ද්විත්ව ඝාතනය හුදෙකලා සිදුවීමක් නොව, විදේශගතව සිටින ප්‍රබල පාතාල නායකයින්ගේ මෙහෙයවීම මත සිදුවූවක් බව පොලිස් විමර්ශනවලදී මනාව පැහැදිලි වී ඇත. විශේෂයෙන්ම ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන 'කරන්දෙණිය සුද්දා' සහ 'මල්වානේ ටුටූ' නැමැත්තන් මෙම අපරාධයේ ප්‍රධාන මොළකරුවන් ලෙස හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ කරන්දෙණිය සුද්දා අතර සබඳතාවය ගොඩනැගී ඇත්තේ ඔවුන් දෙදෙනාම යුද හමුදාවේ සේවය කළ සමයේදී ඇතිකරගත් දැනහැඳුනුම්කම් මත බවද හෙළි වී ඇත. කරන්දෙණිය සුද්දාට සෘජුවම දුරකථනයෙන් ඇමතිය හැකි තරමේ සමීප සබඳතාවයක් මොවුන් දෙදෙනා අතර පැවතී ඇති අතර, දිගු කලක සිට මෙම වෙඩික්කරුගේ මත්ද්‍රව්‍ය අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කරන්දෙණිය සුද්දා විසින් පහසුකම් සපයා දී ඇති බවද අනාවරණය වේ.

අපරාධය සැලසුම් කිරීමේදී මෝටර් රථයේ සිටින නීතිඥවරයාට පමණක් නොව, එම අවස්ථාවේ රථය තුළ සිටින ඕනෑම අයෙකුට වෙඩි තබා ඝාතනය කරන ලෙස මල්වානේ ටුටූ සහ කරන්දෙණිය සුද්දා විසින් මෙම වෙඩික්කරුවන්ට පැහැදිලි උපදෙස් ලබා දී තිබී ඇත. කෙසේ වෙතත්, තමන් වෙඩි තැබීමට යන්නේ නීතිඥවරයෙකුට බව හෝ ඒ බුද්ධික මල්ලවාරච්චි මහතා බව ප්‍රධාන වෙඩික්කරු අපරාධය සිදුකරන අවස්ථාව වන විටත් නිශ්චිතවම දැන සිට නොමැත. මෙම අමානුෂික කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කරන්දෙණිය සුද්දා විසින් ඔහුට රුපියල් ලක්ෂයක මුදලක් මෙන්ම අයිස් මත්ද්‍රව්‍යද ලබා දී ඇති අතර, වෙඩික්කරු එම මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව දැඩි මත්ගතියකින් යුතුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ඔහුගේම පාපොච්චාරණ මගින් තහවුරු වී තිබේ.



මෙම සිදුවීම වාර්තා වීමත් සමඟම පොලිස්පතිවරයාගේ සෘජු නියෝග පරිදි අපරාධය විසඳීම සඳහා විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායම් 12ක් පමණ කඩිනමින් යොදවනු ලැබීය. මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහායද මෙම මෙහෙයුම් සඳහා ලබා ගන්නා ලදී. පසුව කොළඹ දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතා විසින් මෙම වෙඩික්කරුවන් සොයා ගැනීමේ භාරදූර වගකීම හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත පවරන ලදී. ඒ අනුව හෝමාගම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ පූර්ණ මෙහෙයවීම යටතේ, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න සහ පොලිස් පරීක්ෂක ආර්.එන්.ඒ. චතුරංග යන මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී.

පොලිස් කණ්ඩායම්වලට ලැබුණු බුද්ධි තොරතුරු සහ තාක්ෂණික විශ්ලේෂණයන් ඔස්සේ ඔවුන්ට එක් නිශ්චිත පුද්ගලයෙකු සම්බන්ධයෙන් දැඩි සැකයක් මතු විය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කහදූව, ඇත්කඳුර ප්‍රදේශයට ගොස් සැකකරුගේ වැඩිමහල් සහෝදරිය සොයාගෙන ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කරන ලදී. එහිදී පොලිසිය විසින් යම් ඡායාරූපයක් ඇයට පෙන්වා ඇති අතර, එහි සිටින්නේ තම සහෝදරයා බව ඇය විසින් තහවුරු කර ඇත. අදාළ ඡායාරූපයේ දැක්වෙන්නේ ඔහු 'එෆ්.ඉසෙඩ්' (FZ) වර්ගයේ යතුරුපැදියකට හේත්තු වී සිටින ආකාරයයි. ඉන්පසුව පොලිසිය ඔහු සිටින ස්ථානය පිළිබඳව සහෝදරියගෙන් විමසා ඇති අතර, ඇය සිද්ධියේ සැබෑ තත්ත්වය නොදැන ප්‍රකාශ කර ඇත්තේ ඔහු ඩුබායි හි සේවය කළ අයෙකුට අයත් කුරුඳුවත්තක රාජකාරි කරමින් සිටින බවයි.

මෙම තොරතුර ඔස්සේ වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ පිහිටි අදාළ කුරුඳුවත්ත වෙත පිටත්ව ගියහ. ඔවුන් එහි යන විට ඉඩමේ අයිතිකරුවන, වසර තුනකට පමණ පෙර ඩුබායි සිට පැමිණි තරුණයා එහි නොසිටියද, ඡායාරූපයේ දැක්වුණු එෆ්.ඉසෙඩ් වර්ගයේ යතුරුපැදිය නිවස ඉදිරිපිට ගාල් කර තිබෙනු පොලිසිය විසින් නිරීක්ෂණය කරන ලදී. මේ හරහා සැකකරු එම ස්ථානයේම රැඳී සිටින බවට තහවුරු කරගත් නිලධාරීන්, ඒ අවට සේවය කළ කම්කරුවන්ගෙන්ද ඡායාරූපය පෙන්වා තොරතුරු තහවුරු කර ගත්හ. ඉන් අනතුරුව දැඩි ඉවසීමකින් යුතුව කැලෑබද ප්‍රදේශයේ සැඟවී රැකවල් ලා සිටි පොලිස් කණ්ඩායම, සවස 6.00 ට පමණ ජලය ලබා ගැනීම සඳහා පැමිණි සැකකරුව අතිශය සූක්ෂම ලෙස තම ග්‍රහණයට නතුකර ගත්හ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු පැන යාමට කිසිදු උත්සාහයක් ගෙන නොතිබූ අතර, දැඩි ලෙස පුදුමයට සහ භීතියට පත්ව වහාම සියලුම වැරදි පිළිගනිමින් තමන් ටී-56 ගිනි අවියෙන් වෙඩි තැබූ බවට පාපොච්චාරණය කර තිබේ.

සිද්ධිය වන අවස්ථාවේදී ටී-56 ස්වයංක්‍රීය ගිනි අවියකින් එක් වෙඩික්කරුවෙකු දිගට හරහට වෙඩි තබා ඇති අතර, අනෙක් වෙඩික්කරු විසින් පිස්තෝලයක් භාවිතා කරමින් ප්‍රහාරය එල්ල කර ඇත. අත්අඩංගුවට පත් වූ මොහු ටී-56 ගිනි අවිය හසුරුවා ඇති අතර, ඔහුව කොළඹ ප්‍රදේශයට ගෙන්වාගෙන ගිනි අවිය ලබා දී ඇත්තේ පසුගිය 12 වැනිදාය. අපරාධය සිදු කිරීමෙන් පසු ආපසු පලා යන අතරමගදී යළිත් එම ගිනි අවිය වෙනත් පාර්ශ්වයක් විසින් භාරගෙන ඇති බවද ඔහු පොලිසියට පවසා ඇත. මේ අතර, පොලිසිය විසින් කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද අනෙක් වෙඩික්කරුගේ සිතුවමක් මොහුට පෙන්වූ අවස්ථාවේදී, එවැනි පෙනුමක් ඇති පුද්ගලයෙකු තමන් සමඟ සිටි බව ඔහු තහවුරු කර ඇතත්, ඔහුගේ අනන්‍යතාවය තමන් නිශ්චිතවම නොදන්නා බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, පිස්තෝලයෙන් වෙඩි තැබූ එම අනෙක් වෙඩික්කරු මේ වන විට පොලිසිය විසින් රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඉකුත් දෙසැම්බර් 21 වැනිදා අම්බලන්ගොඩදී හිරාන් කෝකිල නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියටද මොහු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇත. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වන විටත් රත්නපුර ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

අපරාධයෙන් පසුව සැකකරු බස් රථයකින් සාමාන්‍ය පරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයට පැමිණ කිසිවක් සිදුනොවූ අයුරින් කුරුඳු තැලීමේ රාජකාරිවල නිරත වී ඇත. ඔහු සතුව තිබී නවීන පන්නයේ ජංගම දුරකථනයක්ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, ඝාතනයට පෙර සහ පසු එම දුරකථනය හරහා ඔහු ඩුබායි හි සැඟව සිටින සුද්දා සහ ටුටූ සමඟ අඛණ්ඩව සන්නිවේදනය කර ඇති බව තහවුරු වී තිබේ. මෙම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීම හරහා ඉදිරියේදී අපරාධයට සම්බන්ධ තවත් වැදගත් තොරතුරු රැසක් මෙන්ම සෙසු ආධාරකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය දැඩි විශ්වාසයක් පළ කරයි. මේ වන විට හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇති අතර, එහිදී ඔහුගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී.

මේ අතර, මෙම අපරාධ ජාලයට සම්බන්ධ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුම පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. වෙඩික්කරුවන් දෙදෙනා කඩවත ප්‍රදේශයේ සිට ඇල්පිටිය කහදූව දක්වා මෝටර් රථයකින් ප්‍රවාහනය කර ඇති 21 හැවිරිදි ඩබ්ලිව්.ඒ. සිසිත දිල්හාර නැමැති තරුණයා පසුගිය 16 වැනිදා කටුනායක ගුවන් තොටුපොළින් තායිලන්තය බලා පලාගොස් ඇත. ඔහුට රටින් පැන යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇත්තේ කරන්දෙණිය සුද්දාගේ සෘජු මැදිහත්වීමෙනි. කෙසේ නමුත්, මෙම තරුණයා ගුවන්තොටුපොළ වෙත රැගෙන ගිය රියදුරා සහ ඒ සඳහා යොදාගත් මෝටර් රථය කහදූව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගැනීමට පොලිසිය සමත් විය. මීට අමතරව, තායිලන්තයට පලාගිය සිසිතගේ මව, මිත්තණිය සහ තවත් ඥාතියෙකු ඇතුළු පස් දෙනෙකු ඝාතනය සඳහා ආධාර අනුබල දීමේ සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ. මේ සමඟම මෙම නඩුවට අදාළව අත්අඩංගුවට ගත් සමස්ත සැකකරුවන් සංඛ්‍යාව නවයක් දක්වා ඉහළ ගොස් ඇත.

තවද, මෙම සිදුවීම් මාලාවට සමගාමීව 'ඩිලයිට්' නැමැත්තෙකු ඉලක්ක කරගනිමින් සැලසුම් කළ තවත් අපරාධයක් පිළිබඳවද පොලිසිය අලුතින් විමර්ශන ආරම්භ කර ඇත. ඒ සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන වාහනයක් දෙවුන්දර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් අතර, අපරාධකරුවන් විසින් එම වාහනය ගිනි තබා විනාශ කිරීමටද උත්සාහ කර තිබුණි. මෙම සියලුම එකිනෙකට සම්බන්ධ සිදුවීම් පිළිබඳව පොලිසිය දැඩි අවධානයකින් යුතුව පරීක්ෂණ පවත්වයි. පුදුමයට කරුණක් වන්නේ ප්‍රධාන වෙඩික්කරු තම අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් කිසිදු පසුතැවීමක් හෝ මානසික කඩාවැටීමක් නොපෙන්වීමයි. ඔහු රූපවාහිනී ප්‍රවෘත්ති හරහා තමන් කළ ඝාතනයේ බරපතළකම දුටුවද, සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි බැවින් තමන්ව කිසිවෙකුට හඳුනාගත නොහැකි වනු ඇතැයි යන දැඩි ආත්ම විශ්වාසයෙන් පසුවී ඇත.