ගම්පොළ නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ඇත්ගාල, නාගොල්ල ප්‍රදේශයේදී ඉකුත් 20 වැනිදා සවස සිදුවූ දරුණු රිය අනතුරකින් නාවලපිටිය පොලිස් ස්ථානාධිපති නිශ්ශංක නන්දන කුලතුංග මහතාගේ තුන් හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම අනතුරින් ස්ථානාධිපතිවරයාගේ බිරිය සහ හත් හැවිරිදි පුත්‍රයා තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මියගොස් ඇත්තේ ගම්පොළ, උනම්බුව ප්‍රදේශයේ පදිංචි කුලතුංග මුදියන්සේලාගේ අභීෂා නිෂාරා කෙනුලි කුලතුංග නමැති අවුරුදු තුනයි මාස තුනක් වයසැති දැරිය බව ඇත්ගාල පොලීසිය සඳහන් කරයි. මෙම දැරිය, ඇගේ මව සහ හත් හැවිරිදි සොහොයුරා සමගින්, පෙර පාසල් ගුරුවරියකගේ ගම්පොළ, මාවතුර ප්‍රදේශයේ නිවෙසේ පැවති උපන්දින සාදයකට සහභාගී වීම සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරට මුහුණ දී ඇත.
නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිය සහ දරු දෙදෙනා ගමන් කරමින් සිටි යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය වාර්තා කරයි. අනතුරින් තුවාල ලැබූ තිදෙනාවම වහාම ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටියදී දියණිය මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම අනතුර සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා විසින් පවත්වන ලද අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරි සචින්ත රණතුංග මහතා විසින් සිදුකර තිබේ. පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ දැරිය යතුරුපැදියේ ඉදිරි අසුනේ ගමන් කර ඇති බවයි.
දැරියගේ පපුව ප්‍රදේශයට යමක වැදීමෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවත්, පපුවට සහ උදරයට සිදුවූ බරපතල හානි හේතුවෙන් මරණය සිදුව ඇති බවත් අධිකරණ වෛද්‍යවරයා විසින් තීරණය කර ඇත. මරණ පරීක්ෂණයේදී දැරියගේ පියා වන නිස්සංක නන්දන කුලතුංග මහතා සහ මව වන ඩිලුකා චාමලී කුමාරි හේරත් මහත්මිය සාක්ෂි ලබා දී තිබේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ ඇත්ගාල පොලීසිය, මෙම මෝටර් රථයේ රියැදුරු ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ගම්පොළ මහේස්ත්‍රාත් සරසි පරණමාන මෙනවිය විසින් ඔහුව අද (23) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.