a-meeting-between-the-leader-of-the-bora-community-and-the-president

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක අතිඋතුම් ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉන්දියාව, පකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක විසිරී සිටින දස ලක්ෂයකට අධික බෝරා ප්‍රජාවට නායකත්වය ලබාදෙන සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ මෙම පැමිණීම වැදගත් සිදුවීමක් ලෙස සටහන් විය.




ජනාධිපතිවරයා සමඟ ඉතා සුහද පිළිසඳරක නිරත වූ බෝරා අධ්‍යාත්මික නායකතුමා, ශ්‍රී ලංකාව තුළ නව සමාජ සහ ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කළේය. විශේෂයෙන්ම රට වෙලාගෙන ඇති මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමටත්, වංචාව හා දූෂණය තුරන් කිරීමටත් රජය විසින් දියත් කර ඇති පුළුල් ක්‍රියාමාර්ග එතුමාගේ පැසසුමට ලක් වූ අතර එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය ආශිර්වාදයද පළ කර සිටියේය.

ශ්‍රී ලංකාවේ වෙසෙන බෝරා ප්‍රජාව සහ අනෙකුත් ජන කොටස් අතර පවතින අන්තර් සබඳතාව දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන බව මෙහිදී සිහිපත් කෙරිණි. එසේම බෝරා ප්‍රජාව විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව වෙනුවෙන් ලබා දෙන සුවිශේෂී දායකත්වය පිළිබඳවද අධ්‍යාත්මික නායකතුමා විසින් ජනාධිපතිවරයාව දැනුවත් කරන ලදී.




මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමාගේ මෙම ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සිය ගෞරවපූර්වක ස්තූතිය පිරිනැමීය. මෙම අවස්ථාව සඳහා බෝරා ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර, රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද සහභාගී වූහ.

a-meeting-between-the-leader-of-the-bora-community-and-the-president

a-meeting-between-the-leader-of-the-bora-community-and-the-president

a-meeting-between-the-leader-of-the-bora-community-and-the-president

a-meeting-between-the-leader-of-the-bora-community-and-the-president