'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ පාසල් සඳහා යැයි පවසමින් ජනතාවගෙන් මුදල් සහ ආධාර එක්රැස් කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් සිදු කර ඇත. අදාළ වංචනික ක්‍රියාව සඳහා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ඡායාරූපයක් භාවිතා කරමින් ව්‍යාජ ලෙස සකසන ලද වට්ස්ඇප් (WhatsApp) ගිණුමක් හරහා මෙම කූට ව්‍යාපාරය ක්‍රියාත්මක වන බවට අමාත්‍යාංශය වෙත තොරතුරු අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් මේ වන විටත් ශ්‍රී ලංකා පොලීසිය වෙත නිල වශයෙන් පැමිණිලි කර ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ශාන් මොහොමඩ් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. දින්ත්වා සුළි කුණාටුවට අදාළව හෝ වෙනත් කිසිදු කාරණයක් පදනම් කරගනිමින් අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක මහජනතාවගෙන් මුල්‍යමය හෝ වෙනත් කිසිදු ආකාරයක ආධාරයක් ඉල්ලා නොමැති බව එම නිවේදනය මගින් දැඩිව අවධාරණය කර ඇත.
එබැවින්, අමාත්‍යවරයාගේ නම හෝ ඡායාරූපය භාවිතා කරමින් ලැබෙන මෙවැනි කූට දුරකථන ඇමතුම් හෝ වෙනත් කිසිදු ව්‍යාජ ප්‍රචාරයකට හසු නොවෙන ලෙසත්, එවැනි ජාවාරම්කරුවන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙසත් බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.