the-government-is-treacherous-to-the-buddhist-monks-on-the-20th-a-sangha-group-went-to-colombo

එළඹෙන 20 වන දින පස්වරු 2.00 ට කොළඹ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී ගිහි සහ පැවිදි දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් දැවැන්ත සංඝ සම්මේලනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊයේ (12) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතා ප්‍රකාශ කළේ, භික්ෂූන් වහන්සේලාට, සම්බුද්ධ ශාසනයට, ජාතියට සහ රටට එරෙහිව සිදුවන අසාධාරණකම් සහ අකටයුතුකම් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීම මෙම සමුළුවේ මූලික අරමුණ බවයි.




මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා පෙන්වා දුන්නේ වර්තමානය වන විට රට තුළ නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වන ස්වභාවයක් දක්නට ලැබෙන බවයි. කතෝලික පියතුමෙකුට පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඔවුන් සිරගත කළද, ත්‍රිකුණාමලයේදී භික්ෂූන් වහන්සේලාට පහරදීමේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් පවා සිදු කර නොමැති බව ඒ මහතා අවධාරණය කළේය. එසේම සිංහල බෞද්ධ ජනතාව කිසිදු අවස්ථාවක ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී නොමැති බවත්, කිසිවෙකු කෙරෙහි වෛරය හෝ ක්‍රෝධය පැතිරවීමට කටයුතු කර නැති බවත් සභාපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

රටත් රාජ්‍යයත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මහා සංඝරත්නය නිරන්තරයෙන්ම නිසි අනුශාසනා ලබා දෙමින් පෙරමුණේ සිටින බවත්, එබැවින් උන්වහන්සේලාට පහරදීම සහ හිරිහැර කිරීම යනු වක්‍රකාරව සමස්ත රාජ්‍යයම විනාශ කිරීමක් බවත් වාකිෂ්ඨ මහතා ප්‍රකාශ කළේය. මෙම බරපතළ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ සංඝ සමුළුව කැඳවීමට තීරණය කළ බවද හෙතෙම පැහැදිලි කළේය.