
පසුගිය මාස නවයක පමණ කාලයක් තිස්සේ වාහන අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවීම හේතුවෙන්, නව අංක තහඩු තුන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසී ඇති බව වාර්තා වේ. අංක තහඩු සැපයීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් මතුවූ ගැටලුකාරී තත්ත්වයක් නිසා, පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට අංක තහඩු නිකුත් කිරීම නතර කර තිබිණි.
මේ හේතුවෙන් නව වාහන තුන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට සහ හිමිකම් මාරු කළ වාහන 25,000 කට අධික සංඛ්‍යාවකට අංක තහඩු නොලැබී පවතී. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, මේ වසරේ ජනවාරි මාසයේදී පමණක් යතුරුපැදි ඇතුළු වාහන 55,238 ක් ලියාපදිංචි වී ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ තවත් වාහන ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් එකතු වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
වසර තුනකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ වාහන ආනයනයට පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී නැවත අවසර දීමත් සමඟ වාහන ලියාපදිංචි කිරීමේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබිණි. පසුගිය වසර තුළ පමණක් යතුරුපැදි දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ අතර, ජනවාරි මස 6 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, අංක තහඩු මුද්‍රණය සඳහා සැපයුම්කරුවෙකුට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි. ඉන්දීය සමාගමක් වන සවුත් ඒෂියන් ටෙක්නොලොජීස් (South Asian Technologies) සමාගමට මෙම ටෙන්ඩරය පිරිනමා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා 'ලංකාදීප' පුවත්පතට ඊයේ (5) අදහස් දක්වමින් කියා සිටියේ, තවත් මාස තුනක පමණ කාලයකින් පසුව නව අංක තහඩු නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි. මෙම ටෙන්ඩරය හිමිව ඇත්තේ ඉන්දීය සමාගමකට වන අතර, යන්ත්‍ර සවිකර කාර්යයන් ආරම්භ කිරීමට ඔවුන්ට මාස තුනක කාලයක් ලබා දී ඇත. එබැවින්, නව අංක තහඩු නිකුත් කිරීමට තවත් මාස තුනක් බලා සිටීමට සිදුවනු ඇතැයි කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය. කෙසේ වෙතත්, එම සමාගමට මාස තුනක් ගතවීමට පෙර මුද්‍රණ කටයුතු ඇරඹීමට හැකිවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත්, මෙම නව අංක තහඩු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත වනු ඇති බවත් අමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.